Vega Design Studio සෑදූ දියර නිෂ්පාන අලෙවි යන්ත්‍ර තොගයක් බංග්ලාදේශයට අපනයනය කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදන නිෂ්පාදන සමාගමක් වන Vega Innovations සමාගම යටතේ ක්‍රියාත්මක Vega Design Studio මගින් නිපදවූ දියර නිෂ්පාදන අලෙවි යන්ත්‍ර (liquid vending machines) අතරින් අලුත්ම තොගය පසුගියදා බංග්ලාදේශය වෙත අපනයනය කළ බව එම සමාගම පවසයි.

සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම යන්ත්‍ර IoT (Internet of Things) තාක්ෂණයෙන් බලගැන්වී ඇතැයි Vega Design Studio සමාගම සඳහන් කරයි.

මෙරට තුළදී  Vega Design Studio මගින් මෙම යන්ත්‍ර නිෂ්පාදනය කෙරුණේ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙනුවෙනි. එහිදී යුනිලිවර්හි දියරමය නිෂ්පාදන වන ෂැම්පූ, කන්ඩිෂනර් නිෂ්පාදන  වෙනුවෙන් මෙම යන්ත්‍රය ඉදිරිපත් විය. දැනටමත් සුපිරි වෙළෙඳ සැල් කිහිපයකදීම මෙම යන්ත්‍ර හඳුන්වාදී තිබේ.

මෙම නිෂ්පාදනය පිළිබඳ සමාගම් අතරින් ලැබුණු ඉහළ ප්‍රතිචාරයත් සමගින්ම මෙම ඇනවුම හිමි වූ බව Vega Design Studio සමාගමේ ප්‍රකාශකයෙකු ‘ද මීඩියා වර්ල්ඩ් ශ්‍රී ලංකා‘ අප වෙත පැවසීය.

විශේෂයෙන්ම පාරිභෝගිකයන් අතර ප්ලාස්ටික් භාවිතය අඩු කරවීම මෙම යන්ත්‍රය ඉදිරිපත් කිරීමේ සැලසුම විය. එහිදී පාරිභෝගිකයාට තමන් සතුව ඇති ඉවර වූ ෂැම්පූ නිෂ්පාදනවල ප්ලාස්ටික් ඇසුරුම් මෙම යන්ත්‍ර වෙත ගෙනැවිත් ඒවාට අලුතින් එම ෂැම්පු නිෂ්පාදන පුරවා ගත හැකිය.

Vega Design Studio සමාගම පවන ආකාරයට මෙම නවතම නිෂ්පාදන තොගය සිය U fill සන්නාමය යටතේ බංග්ලාදේශය වෙත අපනයනය කර තිබේ. More Refills – Less Plastics යන තේමාවෙන් එය ඉදිරිපත්ව ඇත.

මෙම යන්ත්‍ර සම්පූර්ණයෙන්ම දේශීය තාක්ෂණය සහ ශ්‍රමය යොදා ගනිමින් නිර්මාණය කරන බවත් Vega Design Studio සමාගම පවසයි.

Visits: 226