බවර් සමාගම මෙරට කාබනික කෘෂිකර්මාන්ත ව්‍යාප්තිය වෙනුවෙන් නැවතත් ස්විස් විශේෂඥ සහාය ලබාගනියි

හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි සාර්ථකව පරිවර්තනය වීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සහ ප්‍රායෝගික විසදුම් හඳුන්වාදීමේ සිය අඛණ්ඩ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින්, 2022 පෙබරවාරි මස මුලදී ස්විට්සර්ලන්ත ජාතික කෘෂි විශේෂඥයින් පිරිසක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට බවර් සමාගම කටයුතු කළ බව පවසයි.

බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසලේ (HAFL) ස්වාභාවික සම්පත් කළමනාකරණ මහාචාර්යවරයෙකුවන ක්‍රිස්ටෝෆ් ස්ටඩර්, ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනයේ (FiBL) ශාක ව්‍යාධිවේදය සහ පාංශු ගුණාත්මකභාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකුවන ආචාර්ය ජැක්ස් ජී. ෆූච් සහ එම ආයතනයේම ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුවන පෝල් වැන් ඩෙන් බර්ජ් යන මහත්වරු මෙම විශේෂඥ කණ්ඩායමට අයත් වූහ. 

මෙම ස්විස් විශේෂඥයින් කණ්ඩායම විසින් ක්‍රියාවට නංවනු ලබන පුළුල් අධ්‍යයන ක්‍රියාවලියේ දෙවැනි අදියර වශයෙන් ඔවුහු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මීට පෙර ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පළමු අදියරේ කටයුතු සඳහා මෙරටට පැමිණි ඔවුහු, එහිදී තම දින 10ක සංචාරය තුළ මූලික වටයේ අධ්‍යයන කටයුතු සිදුකළහ.

මෙරට කෘෂි පාරිසරික පද්ධතිය අවබෝධ කරගැනීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් හමුවීමට එහිදී පියවර ගැනුණි. එම අධ්‍යයනයේදී අවබෝධ කරගත් කරුණු මත පදනම්ව ක්‍රමෝපායිකව හඳුනාගත් විභවතා ක්ෂේත්‍ර පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම දෙවැනි අදියරේ අරමුණ වේ.

දින 9කින් සමන්විත වූ මෙවර සංචාරයේදී ශ්‍රී ලංකා රජය හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දරන ස්ථාවරය අවබෝධ කරගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමට ද ස්විස් විශේෂඥ කණ්ඩායම කටයුතු කළේය. තව ද, වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (RRDI), ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (FCRDI), ගොවිපොළ  යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC), පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහඉලුප්පල්ලම පිහිටි උප මණ්ඩලය මෙන්ම තේ පර්යේෂණ ආයතනය (TRI) යන ආයතන වෙත ගොස් එම ආයතනවල කාර්යභාරය සහ කාබනික කෘෂිකර්මාන්තය වෙත එම ආයතන සතු අනාගත සැලසුම් පිළිබඳව ද අධ්‍යයනය කෙරුණි.

මීට අමතරව ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ නිලධාරීන් සහ විද්වතුන් සමඟ ද එක්ව වී වගාව සිදුකරන ප්‍රධාන කන්න දෙක අතරතුර, අතරමැදි බෝග වශයෙන් රනිල බෝග වගා කිරීමට හැකියාව ගැන ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. තම සංචාරය අතරතුර, නුවරඑළිය මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ද විශේෂඥ කණ්ඩායම කාලය වෙන් කළේය.

විශේෂයෙන්ම නුවරඑළිය නගරය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙහිදී නුවරඑළිය නගරාධිපතිවරයා ඇතුළු නගර සභා සාමාජිකයෝ පියවර ගත්හ. මීට අමතරව, දඹුල්ලේ පිහිටි විශාලතම එලවළු සහ පලතුරු තොග වෙළඳ මධ්‍යස්ථානය, ප්‍රමුඛ පෙළේ දේශීය කිරි නිෂ්පාදකයෙකු, පෞද්ගලික අංශයට අයත් කුකුලු ගොවිපොළක් සහ හලාවත පිහිටි කොම්පොස්ට් නිෂ්පාදනාගාරයක්  වෙත සංචාරය කළ ස්විස් විශේෂඥයෝ, එහිදී කාබනික ගොවිතැනට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ නිරීක්ෂණය කළහ.

බවර් සමාගම FiBL සහ HAFL ආයතන සමඟ පවතින සහයෝගීතාව ප්‍රකාරව බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ජැක් කොහ්ලි මහතා මේ වනවිට බවර් සමාගම තුළ තාවකාලික පදනමින් සේවය කරයි. කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා පවතින අමුද්‍රව්‍ය සහ ඒවායෙන් අපේක්ෂා කළ හැකි භාවිතාවන් පිළිබඳව ඔහු විස්තරාත්මක අධ්‍යයනයක නිරත වේ.

ස්විස් විශේෂඥයෝ ශ්‍රී ලංකා නැනෝතාක්ෂණ ආයතනය (SLINTEC), කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ ජීව පොහොර නිෂ්පාදන ආයතනයක නිලදාරින් හමුවී, රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ගෙනයන වැඩපිළිවෙළ ද නිරීක්ෂණය කළහ. එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සහ ජාතික ශාක නිරෝධායන සේවය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ආයතන සමඟ සහයෝගීතාවන්ට එළඹීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

කුරුණෑගල උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයද විශේෂඥ කණ්ඩායමේ නිරීක්ෂණයට බඳුන් වූ අතර, දඹුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල ගොවිබිම් ද, ඉදල්ගස්මහින්න ප්‍රදේශයේ පිහිටි කාබනික තේ වගාවක් ද ඔවුන්ගේ අධ්‍යයනයට ලක්විය. කාබනික ගොවිතැනේදී ගොවීන් මුහුණ දෙන ගැටලු අවබෝධ කරගැනීම සහ ඒවාට විසඳුම් සැපයීම් අරමුණු කරගත් මුල්ම අදියරේ ගොවි හමුව, තවත් පියවරක් ඉදිරියට ගෙනයමින් ස්විස් විශේෂඥයෝ තවත් ගොවි පුහුණු සැසි කිහිපයක් පැවැත්වූහ. ඊට අමතරව, බවර් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ අලෙවි කණ්ඩායම ඉලක්ක කරගනිමින් විශේෂ දැනුම හුවමාරු කරගැනීමේ සැසියක් ද පැවැත්වුණි. 

Visits: 129