ලංකා ටයිල්ස් කොටසකට රුපියල් 1.80ක් බැගින් ලාභාංශ ගෙවීම මාර්තු 31 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම (TILE.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.80ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 10 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදුවුණු පසුගිය පෙබරවාරි 28 වැනිදා ලංකා ටයිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 104.75ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 95.70ට සාපේක්ෂව රුපියල් 9.05ක එනම් 9.46%ක ඉහළ යාමක් ලෙස සටහන්ව ඇත.

Visits: 150