HNB සමූහය අභියෝග මධ්‍යයේ 2021 සඳහා ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

වඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත.

ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී රුපියල් බිලියන 20ක් වාර්තා කළ අතර පසුගිය වසර තුළ ආර්ථික ක‍්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟින් බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 17.3ක් දක්වා වැඩි වී ඇත.

2020 වර්ෂයේ කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලෙන් ඇති කරන ලද බලපෑම නිසා එම වසර තුළ ආර්ථික වර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ලිහිල් මුදල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර 2021 අගෝස්තු දක්වා එම ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී.

නමුත් අගෝස්තු මාසයේදී ප‍්‍රතිපත්තිමය පොළී අනුපාත පදනම් ලක්ෂ 50කින් ඉහළ යාම නිසා පොළී අනුපාත ඉහළ ගියද 2021 සඳහා AWPLR අගය ආසන්න වශයෙන් 2020 පැවති අගයට වඩා පදනම් ලක්ෂ 160කට වඩා අඩු මට්ටමක පැවතිණි.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වසරේ දෙවන අර්ධයේදී ණය සඳහා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළ ද පොළී ආදායම 5.1% කින් අඩු වී රුපියල් බිලියන 98.6ක් විය. එසේම පොළී වියදම 17.2%කින් අඩු වී රුපියල් බිලියන 49 ක් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොළී ආදායම (NII) 2020 වසරට සාපේක්ෂව 10.8% කින් වර්ධනය වී රුපියල් බිලියන 49.6 ක් වී ඇත.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ”Covid-19 වසංගතය මගින් ජීවිතවලට හා ආර්ථික ක‍්‍රියාකාරකම්වලට එල්ල කළ අඛණ්ඩ අභියෝග හමුවේ 2021 වසර අපගේ දරා ගැනීමේ හැකියාව හා කාර්යක්ෂමතාවය උරගා බැලූ වසරක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම අභියෝගාත්මක වසර තුළ අපගේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා සහ කළමනාකරණ කණ්ඩායම ප‍්‍රමුඛ රට පුරා සිටින අපගේ සාමාජිකයින් කොටස් හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම කෙරෙහි අවධානයෙන් කටයුතු කළ අතරම අපගේ සාමාජිකයින්ගේ යහපැවැත්ම සහතික කිරීමටත් අපගේ ගනුදෙනුකරුවන්ට සහාය වීමටත් අඛණ්ඩව ක‍්‍රියා කරනු ලැබුවා.’’ යනුවෙනි.

‘‘2021 වසරේ HNB සමූහය ලබා ගත් මෙම සමස්ත ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලය තිරසාර වර්ධනය හා ලාභය, වත්කම්වල ඉහළ ගුණාත්මක මට්ටම මෙන්ම ශක්තිමත් ප‍්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව තුළින් ලබා දීමට හැකිවීම ලැබීම ගැන මම සතුටු වෙනවා. අනාගතයට සූදානම් බැංකු සේවා හරහා ඩිජිටල් බැංකුකරණයට බැංකුව සාර්ථකව යොමුව සිටිනවා. මෙවැනි අසීරු කාලවලදී අපගේ සමස්ත හැට්නා පවුලේ සාමාජිකයින් පෙන්නුම් කළ කැපවීම හා දැඩි උත්සාහයටත්, අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අඛණ්ඩ සහයෝගයටත්, අපගේ ආයෝජකයින් සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන් අප මත තැබූ දැඩි විශ්වසනීයත්වයටත් මගේ අවංක ප‍්‍රණාමය ප‍්‍රකාශ කිරීමට මා කැමතියි’’. යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ආර්ථික ක‍්‍රියාකාරකම් නැවත යථා තත්වයට පත් වීමත් සමඟ ඩිජිටල් ව්‍යාපාරික සේවාවන් මත පදනම් වූ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම සමඟ කාඞ්පත් හා වෙළෙඳ ව්‍යාපාර පසුගිය වසරට සාපේක්ෂව 27.5%කින් වර්ධනය වී රුපියල් බිලියන 9.6ක් වාර්තා කර ඇත. 2021 දී ප‍්‍රධාන වශයෙන් රුපියල 8%කින් අවප‍්‍රමාණය වීම හේතුවෙන් අනෙකුත් පොලී නොවන ආදායම 61%කින් වැඩි වී රුපියල් බිලියන 6.5ක් විය.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”මිනිස් ප‍්‍රජාව පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී ඇති අතර එම තත්වයට එරෙහිව HNB සිය ඔරොත්තු දීමේ හැකියාවක් මනාව පෙන්නුම් කර තිබෙනවා. පසුගිය වසර 133 පුරාවට බොහෝ අභියෝග හා බාධක පසුකර අප පැමිණ තිබෙනවා. අභියෝග ජය ගැනීමට අපට සහාය වූ අපගේ අවදානම් කළමනාකරණය, අනුකූලතාවය සහ පාලනය අප අඛණ්ඩව ශක්තිමත් කර තිබෙනවා. අප ලබා ගත් ශක්තිමත් හා ස්ථාවර මූල්‍ය කාර්යසාධනයට මෙය කදිම සාක්ෂියක්. බිම් මට්ටමේ ජනතාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට HNB අඛණ්ඩව සහයෝගය ලබා දී තිබෙනවා.’’ යනුවෙනි.

Visits: 68