විදේශ මුදල් හුවමාරු කරන අනවසර මධ්‍යස්ථාන සහ පුද්ගලයන් ගැන මහ බැංකුව තොරතුරු ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදී ගැනීම, අලෙවි කිරීම හා හුවමාරුව අනවසරයෙන් සිදු කරන මධ්‍යස්ථාන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම මෙලෙස විදේශ මුදල් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ කටයුතු සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු සහ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණක් බව මහ බැංකුව අවධාරණය කරයි.

ඒ අනුව යම් පුද්ගලයෙකු‍්, ආයතනයක් හෝ වෙනත් ව්‍යාපාරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයක් නොමැතිව විදේශ මුදල් ගනුදෙනුවල නිරත වන්නේ නම් එය 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් ව්‍යාපාරයක් අනවසර ලෙස විදේශ මුදල් ගනුදෙනු සිදු කරන බව දැනගනු ලැබුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112 398827, 0112 477375 හෝ 0112 398568 වලට දැනුම් දෙන ලෙසත් මෙහිදී දැනුම් දෙයි.

එසේත් නැත්නම් dfem@cbsl.lk ඊ-මේල් ලිපිනය වෙතද එම තොරතුරු ලබා දිය හැකිය.

Visits: 107