Hela Apaparel සමාගම CSE හි ලැයිස්තුගතවීම 07වැනිදා – ඊට පෙර අතරමැදි මූල්‍ය ප්‍රකාශනයක්

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ සිය මූලික මහජන කොටස් නිකුතුව සිදු කළ හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම, ලබන පෙබරවාරි 07 වැනිදා එම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ගනුදෙනු සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කරන බව පවසයි.

ඒ අනුව මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවේ කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ සහ ඇගලුම් (Consumer Durables & Apparel) කාණ්ඩය යටතේ මෙම ලැයිස්තුගත කිරීම සිදු වෙයි.

මෙහිදී Hela-N-0000 යන කේතය යටතේ හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි කොටස් ලැයිස්තුගත කෙරෙන අතර, එහිදී ගනුදෙනු සඳහා ඉදිරිපත් වන සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 1,303,117,944කි.

හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම පසුගිය ජනවාරි 12 වැනිදා සිදුකළ මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී සිය සමාගමෙහි 20.5%ක කොටස් ප්‍රතිශතයක් මිලදීගැනීම සඳහා විවෘත කෙරිණි.

ඒ අනුව එක් කොටසක් රුපියල් 15ක් බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 267,108,998ක් නිකුත් කිරීම සිදු විය. මෙම නිකුතුව හරහා රැස් කිරිමට බලාපොරොත්තු වූ මුදල රුපියල් බිලියන 4ක් වූ අතර, මෙතෙක් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වුණු විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙසද මෙය සැලකුණි.

මෙහිදී කොළඹකොටස් හුවමාරුවෙහි ඉතිහාසය වෙනස් කරමින් එම මූලික කොටස් නිකුතුව සඳහා 5.4 ගුණයකට වඩා වැඩි අයැදුම්පත්‍ර ප්‍රමාණයක් හිමි වූ අතර, එහි වටිනාකම රුපියල් බිලියන 21.8ක් විය.

මේ අතර හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ තෙවැනි කාර්තුව සඳහා වන සිය අතරමැදි මූල්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සඳහා සූදානමින් සිටින බවත් පසුගියදා අනාවරණය කළේය.

එම වාර්තාව දැනටමත් සමාගමේ විගණන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති බවත් එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. එසේම මෙම වාර්තාව කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියෙහි පළ කරන බවත් එහි සඳහන් වෙයි.

ඒ හරහා සමාගමෙහි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වන පළමු දිනයට පෙරාතුව මහජනතාවට සහ ආයෝජකයන්ට සමාගමේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව දැනුමක් ලබා ගත හැකි වෙනු ඇති බවත් හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 765