ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ‘බ්‍රිතාන්‍ය අන්තර්ජාතික රූ රැජින‘ ශ්‍රී ලංකාවට

2021/2022 වසර සඳහා බ්‍රිතාන්‍ය අන්තර්ජාතික රූ රැජින කිරුල හිමිකරගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ඊයේ දින (03) විශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියාය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රහය යටතේ මෙම සංචාරය සංවිධානය කෙරී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් UL 504 දරණ ගුවන්යානයෙන් ප.ව. 12.40ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට පැමිණි ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජිතවරුන්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජිතවරු ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය බ්‍රිතාන්‍ය අන්තර්ජාතික රූ රැජින කිරුලට හිමිකම් කියූ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව වීම සුවිශේෂී වේ. ඇය මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන 60 වන ලෝක අන්තර්ජාතික රූ රැජින තරඟාවලියේ බ්‍රිතාන්‍ය නියෝජනය කරනු ඇත.

මෙම තරඟය ලෝක රූ රැජින සහ “විශ්ව රූ රැජින” යන ලෝප්‍රකට තරඟාවලි දෙකට පමණක් දෙවෙනි වන බව සැලකිය හැකිය.

මින් පෙර 2015 වර්ෂයේදී “කනිෂ්ඨ බ්‍රිතාන්‍ය රූ රැජින” කිරුළ ද 2017 වර්ෂයේ දී “බ්‍රිතාන්‍ය යෞවන රූ රැජිනිය” කිරුලත්, 2020 වර්ෂයේදී “මිස්ට් වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ඉන්ටර්නැෂනල් ” කිරුලද ඇය විසින් දිනාගෙන ඇත.

බ්‍රිතාන්‍ය සංචාරකයන් අතර ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශනීය සංචාරක ගම්මානයක් ලෙස ප්‍රචලිත කිරීම ඇය ශ්‍රී ලංකාවට පැමිණීමේ මූලික අරමුණක් වේ. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇය සම්බන්ධ කරගනිමින් විවිධ ප්‍රවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහි ප්‍රමුඛතම පියවර ලෙස ලංකාවේ සංචාරක ආකර්ශණය දිනාගත් සුවිශේෂී ස්ථාන කිහිපයකම ඇය සංචරණය කිරීමට නියමිත අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එම අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ඇත. බ්‍රිතාන්‍ය තුළ ශ්‍රී ලංකාව දියත් කරනු ලබන ප්‍රවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබාගැනීම මේ අනුව ඉදිරියේ දී සිදු වනු ඇතැයිද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාව තුල රැදී සිටින කාලය තුල ඇය විවිධ ආකාරයේ සමාජ සත්කාරක සේවා රැසකට ද දායකත්වය ලබාදීමට ද නියමිතය. අඩු ආදායම්ලාභී පුද්ගලයන් උදෙසා නිවාස ඉදිකර දීම, පාසල් දරුවන් සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අරමුදල් සැපයීම, කාන්තාවන් සවිබල ගැන්වීමට, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව නැගී සිටීමට ප්‍රජාව දැනුවත් කිරීම යනාදී විවිධ වැඩසටහන් ඒ අතර වේ.

Visits: 178