“විදේශ රැකියා ඉලක්කගත වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න” – අගමැති මහින්ද

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍රයන් ආවරණයවන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්නැයි වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන රාජ්‍ය ආයතනයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) දින උපදෙස් දුන් බව අගමැති කාර්යාලය පවසයි.

තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මේ බව අවධාරණය කර තිබේ.

වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු වී තිබේ.

එසේම නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැතිපිරිස කෙටිකාලීන පුහුණුවක් තුළින් විදේශ රැකියා සඳහා සුදුසු නිපුණ ශ්‍රමිකයන් බවට පත්කිරීමත්, විදේශ රැකියා වෙළඳපොළ සහ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබේ.

පසුගිය 26 වැනිදා වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව, දෝහ කටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබෑර්තු 183,198කට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බවද මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් වී තිබේ.

Visits: 339