සංචාරකයන්ට ශ්‍රී ලංකාවට යන්න එපා කී සුනන්ද දේශප්‍රියට ට්විටර් තුළම විරෝධය

මෙරට සිටි මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු, ප්‍රජාතන්ත්‍රවාදියෙකු බව කියන, වර්තමානයේදී විදෙස්ගතව ජීවත්වන සුනන්ද දේශප්‍රිය මහතා විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින විදෙස් සංචාරකයන් හට සිය ට්විටර් ගිණුම හරහා ලබා දුන් පණිවුඩය සම්බන්ධයෙන් චෝදනා රැසක්ම එල්ල වී ඇතැයි වාර්තාවෙයි.

මෙහිදී ඒ මහතා විදෙස් සංචාරකයන් අමතමින්, ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මුදල් වටිනාකමින් හතරෙන් පංගුවක් අහිමි කරගන්නා බව පවසා සිටියි. එහිදී ඔහු සඳහන් කරන්නේ රජය විසින් සංචාරකයන්ගෙන් ඩොලර් මුදල් අය කරගැනීම නිසා, රජය ඩොලර් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වෙළෙඳ පොළට වඩා අඩු අගයක් ගන්නා බවයි. එසේම ඊට වඩා රුපියල් 40-50ත් අතර වැඩි ප්‍රමාණයක් කළු කඩයේදීඔවුන්ට හිමි වන බවත්, ශ්‍රී ලංකාවට සංචාරයට පෙර ඒ ගැන සිතන ලෙසත් ඔහු මෙහිදී පවසා තිබුණි.

එසේම ඔහු මෙම පණිවුඩය ලෝක සංචරණය, ලෝන්ලි ප්ලැනට් සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය  යන සංචාරක හා සංචාරක ප්‍රවර්ධන ආයතන සහ සංවිධාන සම්බන්ධ ට්විටර් ගිණුම් සමගින්ද ඈදා පළ කර තිබුණි.

එහෙත් ඔහුගේ මෙම අදහසට විරෝධය පළකරමින් බොහෝ පිරිසක් ඊයේ දිනය තුළදී පමණක් ඔහුගේ ටිවිටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වා තිබුණි.

ඇතැමුන් මෙම අදහස ඔහු විදෙස් රටක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් හා සමාන වන බවත්, හුදෙක් සිය අභිවෘද්ධිය සඳහා මිස රට සම්බන්ධයෙන් හෝ රටෙහි සංචාරක කර්මාන්තය හරහා ජීවත්වන ජනතාව ගැන කල්පනා කරමින් සිදු කළ අදහස් දැක්වීමක් නොවන බවත් ඔවුන් පවසයි.

Visits: 355