CCS වටිනාකම් සමග ඉහළ ගිය වෙළෙඳපොළ ලාභ ඉපැයීම් නිසා පහළට

අද (ජනවාරි 25) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම සාර්ථකව ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගමේ කොටස් අගයන් ඉහළ යාම ඊට හේතුවිය. එහෙත් මාසය අවසානයේදී සුපුරුදු ලෙස ක්‍රියාත්මක වන ලාභ ඉපැයීමේ අවස්ථාවන්ද සමගින් දිනයේ අග භාගයේදී වෙළෙඳ පොළ පසුබැසීමක් සිදුවිය.

මේ අතර විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළ පැවති විදේශ ආයෝජක කොටස් අලෙවි කිරීමක්ද දැකගත හැකි වූ අතර, දේශීය ආර්ථිකය පිළිබඳ කණස්සල්ල ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වය වෙත බලපෑම් එල්ල කළ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 13,232.49ත් ඒකක 13,151.86ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,430.84ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 24) දිනයට සාපේක්ෂව ඒකක 173.94ක් එනම් -1.30%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+22.5), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+14.7), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (+6.23), යුනියන් ඇෂුවරන්ස් කලම්බු පීඑල්සී UAL (+3.5), සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී CIND (+2.5), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-26.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-13.1), කොමර්ෂල් බැංකුව COMB (-11.8), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-9.7), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-9.1) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදු කළ සාකච්ඡාවලට අනුව හේමාස් හෝල්ඩිංග්ස් පීල්සී සහ වැලිබල් වන් පීඑල්සී තුළ සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 2.0%ක දායකත්වයක් ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 49ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 196ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,534.94ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 24) ‍ට සාපේක්ෂව ඒකක 92.09ක එනම් -1.99%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.1ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 24) වාර්තා කළ රුපියල් බිලියන 18.42ට  සාපේක්ෂව 70% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.92ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.91%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 63.34ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 233.41ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 170.07කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.53 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  9.68කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 93.15ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,370ක් සඳහා ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 22%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,302ක සහ රුපියල් මිලියන 1‍,275ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 185