ICRA Lanka ආයතනය ACL Cables PLC හි ශ්‍රේණිගත කිරීම ඉහළ නංවයි

මෙරට ක්‍රියාත්මක සමාගම් ණය ශ්‍රේණිගත කිරිමේ ආයතනයක් වන ICRA Lanka ආයතනය මගින් ACL Cables PLC හි ශ්‍රේණිගත කිරිම ඉහළ නැංවීමක් සිදු කර ඇතැයි එම සමාගම පවසයි.

පසුගියදා ජනවාරි 12 වැනිදා නිකුත් කෙරුණු ICRA Lanka ශ්‍රේණිගත කිරීමේ වාර්තාවක් මගින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති (SL) A+ මට්ටමේ සිට (SL) AA- මට්ටම දක්වා එම ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ඇති අතර, පෙර දැක්ම ධනාත්මක බවටත් එහි සඳහන් කර තිබේ.

මෙහිදී විශේෂයෙන්ම ACL Cables PLC සමූහයේ වඩාත් ශක්තිමත් මූල්‍ය තත්ත්වය මෙන්ම දේශීය කේබල් නිෂ්පාදන කර්මාන්තය තුළ එම සමාගම අත්පත් කරගෙන තිබෙන වෙළෙඳ පොළ කොටස සහ එහි සන්නාමයේ ශක්තිමත් බව යනාදී කරුණු මේ සඳහා හේතු වූ බව ICRA Lanka ආයතනය පවසයි.

එසේම ACL Cables PLC සමාගම සිය නිෂ්පාදන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන යහපත් වාර්තාවන්, නිෂ්පාදනවල ගුණාත්මක භාවය මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන යනාදියද සමාගමේ ශක්තිමත් බවට හේතුවක් බව සඳහන් වෙයි.

“විශේෂයෙන්ම අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළදී වුවද ගෙවුණු අවසන් මාස 18ක කාලය තුළදී සමූහය මගින් පෙන්නුම් කළ වඩාත් ශක්තිමත් කාර්යසාධනය මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට හේතුව වී තිබෙනවා. එසේම මෙම ශ්‍රේණිගත කිරිම හරහා සමාගම මගින් සිය ප්‍රාග්ධනීකරණයේ සිදු කරගෙන තිබෙන වර්ධනය මෙන්ම සිය ශක්තිමත් මෙහෙයුම් ලාභයක් හරහා අත්කරගෙන ඇති සාර්ථකත්වයත් පිළිබිඹු කෙරෙනවා.” යනුවෙන් ICRA Lanka ආයතනය සඳහන් කරයි.

මීට අමතරව මෙම කර්මාන්තය තුළ පවතින තරගකාරීත්වයේ පහළ මට්ටම මෙන්ම ශ්‍රී ලංකා රජය මගින් පනවා ඇති ආනයන සීමා කිරීම් නිසා කර්මාන්තය වෙත ඇතුළුවීම සඳහා පවතින ඉහළ මට්ටමේ බාධාවන්ද අනාගතයේදීද ACL Cables PLC සමූහය වෙත සිය ව්‍යාපාරයන් තිරසාරසව පවත්වාගෙන යාමට අවස්ථාව උදා කරනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 ACL Cables PLC සමාගම 2018 සිට 2020 දක්වා පසුගිය වසර තුනක කාලයකදීම මෙම ICRA Lanka වර්ගීකරණයේ (SL) A+ මට්ටමේ පැවතුණි.

Visits: 133