අඩ සියවසකට පසු රත්මලාන ගුවන් තොටුපළෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් 29 දා සිට

මෙම මස 29 දා සිට කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල – රත්මලාන ගුවන් තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව  ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි. විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ  වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය පිළිබදව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි,සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස හා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය  අබේවික්‍රම යන මහත්වරු ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි වූහ .

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරුණු  අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. රත්මලාන ගුවන් තොටුපළ තුල පවතින සම්පත් උපයෝගි කරගනිමින් නව කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි චානක මහතා පවසයි. ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කර තිබිණ.

මේ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් මේ වන විටත් කැමැත්ත ඵල කර ඇත. තවත් ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා  පවත්වමින් පවතින අතර එම සාකච්ඡාද සුබවාදී බව හෙතෙම පවසයි.

ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය,  කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල – රත්මලාන රත්මලාන  ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර කිපයක්  ඔස්සේ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් එහි සංවර්ධනය වෙමින් පවති . මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්,  පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා සහ  ගුවන්  යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ඒ අනුව කටයුතු කෙරේ.

එමෙන්ම පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා, ජෙට්  ගුවන් යානා සදහා  ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුල ඉඩ කඩ සැලසීමට නියමිතය . ඉදිරියේදි මෙම සේවාවන් තව දුරටත්  ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Visits: 266