ජනක අබේසිංහ SLT ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජනක අබේසිංහ මහතා පත් කරන බව එම සමාගම පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් එම සමාගම මේ බව දැනුම් දී තිබේ. මෙතෙක් එම ධුරය දැරූ කිත්ති පෙරේරා මහතා සිය උසස් අධ්‍යයන කටයුත්තක් වෙනුවෙන් වසර දෙකක කාලයකට විදෙස්ගතවීම නිසා පුරප්පාඩු වන ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදුව තිබේ.

ඒ අනුව ලබන පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම බලාත්මක වන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කරයි.

අබේසිංහ මහතා මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙහි ව්‍යාපාර සහ තොග ව්‍යාපාර අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. 1991 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා සම්බන්ධ වී ඇති ඒ මහතා සතුව මේවනවිට සමාගම තුළ වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත බවත් සමාගම පවසයි.

එක්සත් ජනපදයේ කානාස් විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ පරිගණක ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කරගෙන සිටින ජනක අබේසිංහ මහතා, ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ දුරකතන සන්නිවේදන ඉංජිනේරු විද්‍යාව පිළිබඳව පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක්ද සහිතව විද්‍යාවේදී උපාධියක් හිමි කරගෙන තිබේ.

එසේම ඒ මහතා වරලත් ඉංජිනේරුවරයෙකු සහ ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. මීට අමතරව ඒම හතා ශ්‍රී ලංකා පරිගණක සමාජයේ කීර්තිමත් සාමාජිකයෙකුද වෙයි.

Visits: 278