“පහත වැටුණු රන් සංචිතය අවශ්‍යතාව අනුව ඉහළ නංවනවා” – මහ බැංකුව

2021 වසර අවසන් වන විට මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 175ක් එනම් රටෙහි නිල සංචිතය වන එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1න් 5.6%ක් දක්වා පහත වැටී තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි. 2021 දෙසැම්බර් මාසය වනවිට මහ බැංකුව සතු රන් සංචිතය පිළිබඳව වැරදි අර්ථකතන ලබාදුන් මාධ්‍ය වාර්තා කිහිපයකට ප්‍රතිචාර ලෙස මෙම කරුණු ඉදිරිපත් කරන බව මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව මෙහිදී එම රන් සංචිතයෙහි තත්ත්වය පහත වැටීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන මහ බැංකුව, 2008 වසර අවසන් වනවිට රටේ රන් සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 92ක් ලෙස පැවැති බවත්, එය එවකට නිල සංචිතය වූ ඩොලර් බිලියන 2.6කින් 3.6෴ක් වූ බවත් සඳහන් කරයි.

එසේම 2014 වසර අවසානය වනවිට එම රන් සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 893ක් දක්වා වර්ධනය වූ බවත්, එය එවකට පැවැති දළ නිල සංචිතය වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.2 න් 10.9෴ක ප්‍රතිශතයක් වූ බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

“එබැවින් විදේශ සංචිතයෙහි රන් වත්කම් කොටස පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම යන මහ බැංකුවේ තීරණ පිළිබිඹු කරමින් වරින් වර වෙනස්විය හැකිය.” මහ බැංකුව අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඉදිරියේදී විදේශ සංචිත කළඹේ සංයුතියෙහි වෙනස්වීමක් අවශ්‍ය වන මට්ටමක් දක්වා වර්ධනය වනවිට, එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවට පිළිබඳව තමන් සලකා බලනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 167