විදේශිය ගුවන් යානා නඩත්තුවට පළමු වරට දේශීය පෞද්ගලික ආයෝජකයෙකු පිවිසෙයි

ශ්‍රී ලංකා ගුවන්සේවා ඉතිහාසයේ ප්‍රථම වරට විදේශිය ගුවන් යානා වල රේඛීය නඩත්තු කටයුතු (Line Maintenance) සිදු කිරීම සඳහා දේශීය පෞද්ගලික ගුවන්යානා නඩත්තු සමාගමක් සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන අනුමත ලත් විදේශීය ගුවන් සමාගම් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී සිදු කල යුතු රේඛීය නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා සිලෝන් එරෝනොටිකල් සර්විසස් (පුද්ගලික) සමාගම (Ceylon Aeronautical Services) අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හෙයින් එයට අදාල අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

මෙම අනුමැතිය ලබාදීමේ දී එම සමාගමෙහි සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිතකාර්යමණ්ඩලය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ හැකියාව වැනි කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

කොවිඩ් තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්ව ඇති ගුවන් ප්‍රවාහන කර්මාන්තය යලි සක්‍රීය වීමත් සමග මෙරටට පැමිනෙන විදේශිය ගුවන්යානා නඩත්තු කිරීම සහ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝග්‍යතාවයේ පවතී ද යන්න පිළිබඳව සහතික කිරීම මෙම රේඛීය නඩත්තු කිරීමේ කටයුතු යටතේ සිදුවේ.

මේ වන විට ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ඉංජිනේරු අංශය සහ තවත් විදේශීය ගුවන් සමාගම්විසින් මෙරටට පැමිනෙන විදේශීය ගුවන්යානා සඳහා මෙම රේඛීය නඩත්තු කිරීම් කටුනායක ගුවන්තොටුපොලේ දී සිදුකරනු ලබන අතරශ්‍රීලංකන් ගුවන් ඉංජිනේරු අංශය විසින් සිදුකරන නඩත්තු කිරීම් හරහා අත්වන ආදායම අප රටට විදේශ විනිමය ගෙනදෙන්නක් වනවා සේම විදේශිය ගුවන් ඉංජිනේරු අංශ විසින් සිදුකල නඩත්තු කිරීම් සඳහා එම සමාගම් විසින් ආදායම් උපයාගන්නා ලදි.

සිලෝන් එරෝනොටිකල් සර්විසස් වැනි දේශීය පෞද්ගලික ආයතනයක් මෙම කර්මාන්තයට පිවිසීම තුලින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගෙන එමින් ජාතික ආර්ථිකයට ශක්තියක් වනවා මෙන්ම ශ්‍රීලාංකිකයන් හට රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ හැකියාවක් ද පැවතීම මෙහිලා විශේෂයෙන්සඳහන් කල හැකි අතර කොවිඩ් තත්වය හේතුවෙන් විදේශයන් හි සේවය කල මෙරටට පැමින ඇති අත්දැකීම් ලත් ජේෂ්ඨ ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවරුන්ගේ දායකත්වය ද මේ සඳහා ලබාගන්නට කටයුතු කර තිබීම ද අගය කල යුත්තකි.

සිලෝන් එරෝනොටිකල් සර්විසස් (පුද්ගලික) සමාගම සුදුසුකම් ලත් ආයතනයක්ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අනුමැතිය ලබාගනිමින් කොග්ගල පිහිටි සිය ගුවන්යානා නඩත්තු අංගනයේ දී දේශීය මෙන්ම විදේශිය ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානාව්‍යූහ කොටස් අළුත්වැඩියාව (Structural Repair) සහ Non-Distractive Testing (NDT) පරික්ෂාව වැනි කටයුතු  සිදුකිරීම ආරම්භ කලේ මෙයින් වසර කිහිපයකට පෙර සිටය.

ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මැතිතුමා කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ගුවන්යානා නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ යෝජනාවට අනුව අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ මග පෙන්වීම මත මෙම සහතික කිරීමේ කටයුතු සිදුකරන ලද්දේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) ගුවන්යානා ඉංජිනේරු සමන් ගුණවර්ධන මහතා ගේ අධීක්ෂණය යටතේඅධ්‍යක්ෂිකා (ගුවන්යෝග්‍යතා සහ ගුවන්යානා ලියාපදිංචි) පද්මි ජයවර්ධන මහත්මිය ඇතුළු සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් විසිනි.

Visits: 368