2021 දෙසැම්බරයේ සංචාරක පැමිණීම් 89,506ක් වෙයි – වසරේ සමස්ත පැමිණීම් 194,495යි

2021 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 89‍,506ක සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 194,495 දෙනෙකි.

COVID-19 වසංගය හේතුවෙන් වසා තිබූ රට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට යළිත් සංචාරකයන් සඳහා විවෘත කෙරුණු අතර, අත්හදා බැලීම් ලෙස සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරකයන් මෙරටට රැගෙන ඒම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 ජනවාරි මාසයේදී සංචාරකයන් 1,682 දෙනෙකු මෙරට වෙත පැමිණ තිබේ.

එසේම පෙබරවාරි මාසයේදී එය 3,366ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මාර්තු සහ අප්‍රේල් මාසවලදී එය පිළීවෙලින් 4,581ක් සහ 4,168ක් බවට පත්ව තිබේ.

එහෙත් යළිත් වරක් රට තුළ COVID-19 වසංගත රැල්ලක් ව්‍යාප්තවීමත් සමගින්ම පැනවූ සංචරණ සීමා හේතුවෙන් මැයි මාසයේදී සංචාරක පැමිණීම් 1,497ක් දක්වා අඩු වී තිබේ. ජූනි මාසයේදීද එය 1,614ක් ලෙස සටහන් විය. ජූලි මාසයේදී එය 5,040ක් බවට පත් විය.

කෙසේ වෙතත් අගෝස් මාසයේදී සංචාරක පැමිණීම් යළිත් යථාවත් වෙමින් 5,040 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එසේම සැප්තැම්බර් මාසයේ දී එය 13,547ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පිළීවෙලින් සංචාරකයන් 22,771ක් සහ 44,294 දෙනෙකු පැමිණ තිබේ.

2020 වසරේදී සංචාරකයන් 507,311 දෙනෙකු මෙරටට පැමිණි අතර එහිදී ජනවාරි සිට මාර්තු මාසය දක්වා පිළිවෙලින් සංචාරකයන් පැමිණීම 228,434ක්, 207,507ක් සහ 71,370ක් වාර්තා වී තිබේ. එසේම දෙසැම්බරයේදී යළිත් සංචාරකයන් 393 දෙනෙකු පැමිණ තිබේ.

මෙලෙස 2021 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිස පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 26,268කි. එසේම රුසියාවෙන් සංචාරකයන් 16,894ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 16,646ක් සහ ජර්මනියෙන් 12,442ක් පැමිණ තිබේ.

යුක්රේනය, ප්‍රංශය සහ එක්සත් ජනපදයෙන් සංචාරකයන් 7,037ක්, 6,549ක් සහ 6,124ක් පැමිණ තිබේ. කසකස්තානයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 5,754කි. කැනඩාවෙන් සංචාරකයන් 5,079ක් පැමිණ ඇති අතර, චීන සංචාරකයන් පැමිණ ඇත්තේ 2,417කි.

Visits: 161