දුම්වැටිය සඳහා නව මිල සූත්‍රයක් ඇතුළුව නව නීති හඳුන්වාදීමට යයි

මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටිය සඳහා නව මිල සූත්‍රයක් සහ නව නීති කිහිපයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කෙරිණි.

ඒ අනුව 2022 වසරේ සිට දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ඒ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

“මේ නව මිල සූත්‍රය නිසා අනිවාර්යයෙන්ම දුම්වැටි හරහා රජයට ලැබෙන බදු ආදායම සෑම වසරකදීම 6%ක් බැගින් වැඩි වෙනවා. ඒ වගේම දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව සීඝ්‍ර ලෙස අඩුවෙනවා. එහෙම වුණහම අද 9.1%ක් වන මෙරට පිරිමි පුද්ගලයන්ගේ දුම්බීම මේ බදු සූත්‍රයත් සමග 6%ට 7%ට බස්සන්න පුළුවන් වෙනවා. දැන් අපි ඒ සඳහා වන කැබිනට් පත්‍රය දැන් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ අරගලයට සියලු දෙනාම සක්‍රීයව දායක වෙයි කියලා.”

සභාපතිවරයා සඳහන් කරන ආකාරයට මෙම නව බදු සූත්‍රය සකස් කිරිම සඳහා සිගරට් බදු අනුපාතය, ලබන වර්ෂයේදී සිගරට්ටුවක යෝජිත මිල, උද්ධමන අනුපාතය, වත්මන් වර්ෂයේ සිගරට්ටුවක මිල, දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය සහ බාහිර සාධක 4%ක් යන කරුණු ඇතුළත්ව ඇත.

මෙහිදී එම මිල සූත්‍රය සකස් කිරිම සඳහා බාහිර සාධක ලෙස 4෴ක් යොදා ඇත්තේ සෑම වසරකදීම සිගරට්ටුවක මිල ඉහළ යාම සුරක්ෂිත කිරීම සඳහා වන බවත් සභාපතිවරයා පවසා සිටියි. ඒ අනුව රටෙහි උද්ධමනය ශුන්‍යයක් වුවද සිගරට්ටුවක මිල ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදු වෙයි.

 “මේ බදු මිල සූත්‍රය ගැන කාටවත් බලපෑම් කරන්න බැහැ. මේක අවුරුද්දක කාලයක් පුරා සකස් කළ සූත්‍රයක්. ලංකාවේ වගේම ලෝකයේ විශේෂඥවරු එකතු වෙලා හදපු එකක්. මෙය තමයි ලංකාවේ සිගරට්ටුවක මිල සම්බන්ධයෙන් ඇතිවිය යුතු ප්‍රතිපත්තිය.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම දුම්වැටියක් අලෙවි කිරීම, මිලදී ගැනීම සහ දුම් කොළ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ දැනට පවතින වයස් සීමාව වන අවුරුදු 21 අවුරුදු 24ක් දක්වා ඉහළ නැංවීමක්ද මේ වසර තුළදී සිදු කරන බවත් හෙතෙම මෙහිදී අවධාරණය කර තිබේ.

Visits: 216