LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් කොටස් බිලියන 1.2ක් අද වෙළෙඳ පොළට

LOLC සමූහයට අයත් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම අද (දෙසැම්බර් 31දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සිදු කරන බව පවසයි.

ඒ අනුව මෙහිදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි Property and Casualty Insurance කාණ්ඩය යටතේ මෙලෙස ලැයිස්තුගතවීම සිදු විමට නියමිතව තිබේ.

මෙහිදී එම සමාගම LGILN.0000 යන කේතය යටතේ සිය ගනුදෙනු සඳහා ඉදිරිපත් වන බව සඳහන් වෙයි.

එසේම LOLC ජනරල් ඉන්ෂුවරන්ස් සමාගම මගින් අද දිනයේදී ගනුදෙනු සඳහා සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් බිලියන 1.2ක් (1,200,000,000ක්) ඉදිරිපත් කිරීමටත් සූදානමින් සිටියි.

පසුගිය දෙසැම්බර් 16 වැනිදා සිදු කරන ලද සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් (IPO) අනතුරුව LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සිදු වෙයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික කොටස් නිකුතුව සඳහා අයැදුම්පත්‍ර 12,200කට වැඩි සංඛ්‍යාවක් හිමිව ඇති අතර, එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 11.6කි. මෙය එම නිකුතුව සඳහා 12.23ක ගුණයකින් අධි ඉල්ලුමක් හිමිවූ අවස්ථාවක් ලෙසද සමාගම පවසයි.

විශේෂයෙන්ම 2021 වසරේ අවසන් ගනුදෙනු දිනය වන අද දිනයේදී මෙලෙස LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම සිය ලැයිස්තුගතවීම සිදු කරමින් ගනුදෙනු ආරම්භ කිරීම වෙළෙඳ පොළ වෙත සුවිශේෂී අවස්ථාවක් වෙනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

ඒ අනුව වසරේ අවසන් ගනුදෙනු දිනය සඳහා සාර්ථක අවසානයක් ලබා දීමට මේ හරහා හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය වී ඇත.

Visits: 287