SLT-MOBITEL ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගමක් ලෙස ඇගයීමට ලක්වේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගම් ලැයිස්තුවේ ගෞරවනීය සඳහනක් ලැබූ සමාගම් හා ආයතන 5 අතරට එක්වීමට සමත් විය. එම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ එකම දුරකථන සන්නිවේදන සමාගම SLT-MOBITEL වීම ද විශේෂත්වයකි.

වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්ව මෙම ශ්‍රේණිගත කිරීමවාර්ෂිකව ප්‍රකාශයට පත්කරයි. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඇගයීම් ක්‍රියාවලියක් අනුව මෙම සමාගම් හා ආයතන තෝරාගනු ලැබේ. මෙහිදී අදාළ සමාගම් වල මූල්‍ය ක්‍රියාකාරීත්වය මෙන්ම, සේවකයන්, පාරිභෝගිකයන්, කොටස් හිමිකරුවන් සහ ප්‍රජාව ඇතුළු සියලුම පාර්ශ්වයන්ට යහපත සැලසීම සඳහා දක්වන ලද දායකත්වය ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගැනෙයි.

මෙම ජයග්‍රහණයට අමතරව මෙම වසර තුළදී තවත් සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට SLT-MOBITEL සමත් විය. මීට පෙර, නවීන ඩිජිටල් සම්බන්ධතා විසඳුම් සමගින් ශ්‍රී ලංකාවසාධනීය පරිවර්තනයකට ලක්කිරීම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් එම සමාගමට Global Economics සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම දුරකථන සේවා සම්පාදකයා’ සම්මානය පිරිනමන ලදි.

මේ වනවිට ශ්‍රී ලංකාවට නවතම තාක්ෂණික විසඳුම් හඳුන්වා දෙමින්, ජන ජීවිතය මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයද සුවිශේෂී පරිවර්තනයන්ට ලක්කිරීමට SLT-MOBITELසමත් වී ඇත. ජනතාවගේ ඩිජිටල් ජීවිත සුපෝෂණය කිරීම යන දැක්ම මත පදනම් වී, පූර්ණ ඩිජිටල් ආර්ථිකයක් බිහිකිරීම සඳහා අවශ්‍ය වන නවීනතම විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙමින් මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස ඉදිරියෙන්ම සිටීම SLT-MOBITEL හි ඉලක්කය වී තිබේ.

Visits: 54