චීන විදේශ ඇමති දින දෙකක නිල සංචාරයක් සඳහා 08දා ලංකාවට

චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ලබන ජනවාරි 08 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම සංචාරය පිළිබඳව කරුණූ සඳහන් කර තිබේ. ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා ලබන ජනවාරි 09 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇත.

මෙම සංචාරය චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වීමේ 65 වැනි සංවස්තරය සැමරීමේ උත්සවය නිමිති කරගනිමින් පැවැත්වෙන්නක් බවද චීන තානාපති කාර්යාලය පවසයි.

එසේම නව වසරේදී චීන විදේශ අමාත්‍යවරයා සිදුකරන පළමු විදේශ සංචාරය යටතේ අවසන් නැවතුම බවටද කොළඹ පත්වනු ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.

චීන විදේශ අමාත්‍යවරයා නව වසරේ සිය පළමු සංචාරය යටතේ ලබන ජනවාරි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා අප්‍රිකාවේ එරිත්‍රියාව, කෙන්යාව සහ කොමරෝස් යන රාජ්‍යයන් වෙත සංචාරය කරයි. එසේම ජනවාරි 08 වැනිදා විදේශ අමාත්‍යවරයා මාලදිවයින වෙත පැමිණෙන අතර අනතුරුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙයි.

Visits: 146