“2021 අවසන් වනවිට නිල සංචිතය ඩොලර් බිලියන 3 ඉක්මවාවි” – මහ බැංකුව

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සතු නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දී සිටියි. ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

“කොවිඩ්-19 හි ආර්ථික බලපෑම් හේතුවෙන් ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළේය.” යනුවෙන් මහ බැංකුව පවසයි.

ඒ අනුව පවතින විදේශීය ණය තිරසාර ලෙස කළමනාකරණය කරගත හැකි වන පරිදි ණය නොවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැගීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සඳහා වසර ආරම්භයේ සිටම මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවත් මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම රට තුළ නිල සංචිත ඉහළ දැමීම සඳහා දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම තත්ත්වය ළගා කරගැනීමට හැකියාව ලැබෙන බව මහ බැංකුවේ විශ්වාසය වී ඇත.

ඒ අනුව නුදුරේදීම විදේශ විනිමය ලැබීම් ගණනක් අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. ඒ අතර මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක පමණ විදේශීය විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්වෙයි.

“රජය විසින් ද්විපාර්ශ්වික මූල්‍යයන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් මෙන්ම බහුපාර්ශ්වීය සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටියි. මීට අමතරව බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම්ද ඉදිරියේදී සාර්ථක වනු ඇත.” යනුවෙන් මහ බැංකුව පවසයි.

එසේම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳන්වාදී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තනය කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළෙඳ පොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළේ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇති අතර, එමගින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

“විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑත කාලීන වර්ධනයන් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.” මහ බැංකුව පවසයි. ඒ අනුව මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම්ද සමග නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය සහ මහ බැංකුව අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.

Visits: 271