ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී දේශීයව එකලස් කළ ට්‍රක් රථ වෙළෙඳ පොළට

ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමෙහි හෝමාගම පිහිටි කර්මාන්තශාලාව මගින් 40%කට ආසන්න දේශීය එකලස් කිරීමක් සහිතව නිෂ්පාදනය කරන ලද ට්‍රක් රථ පෙළක් ඊයේ එහි ගැනුම්කරුවන් වෙත සංකේතාත්මකව අලෙවි කිරීම සිදු කළ බව පවසයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කර්මාන්තශාලා පරිශ්‍රයේ පැවැති උත්සවයකදී මෙම රථ පෙළ අලෙවි කිරීම සිදුව තිබේ.

1982 දී එවකට පැවති රජය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ ඇති කරගත් එකඟතාව අනුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම බිහිව තිබේ. මෙම සමාගමේ පරිපාලන බලය හා 28%ක කොටස් හිමිකාරීත්වය ඉන්දියන් අශෝක් ලේලන්ඩ් සමාගම සතුව පවතී. එසේම ශ්‍රී ලංකාවට හිමි සමාගමේ කොටස් ප්‍රතිශතය 72%කි. ඉන් 42% කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින අතර, ඉතිරි 30% දේශීය කොටස් හිමිකරුවන් අතර බෙදී ගොස් තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වා ඇති කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, “අපේ රජය බලය පත් වූවාට පසුව රුපියලට එල්ල වී ඇති පීඩනය අවම කරගැනීමේ බලාපොරොත්තුවෙන් වාහන ආනයනය සීමා කිරීමට ගත්තු ප්‍රතිපත්තිමය තීන්දුවත්, ඒහා සමගාමීව වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වාදීමට හැකි වීමත් විසින් අද මේ රටේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වගේම තවත් සමාගම් කිහිපයක් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ වෙනදාට වඩා උද්යෝගීමත්ව නියැලී සිටිනවා.

සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දීමට පෙර වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටියේ සමාගම් තුනක් පමණයි. අද එම කර්මාන්තයෙහි ලියාපදිංචි වී වාහන එකලස් කිරීමට එක්ව සිටින සමාගම් ගණන 10කට අධිකයි. 2021 මාර්තු 15 වැනිදා සම්මත මෙහෙයුම් පටිපාටිය ජනගත කිරීමෙන් දින 04කට පසුව මා ලංකා අශෝක් ලේලන්ඩ් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණියා.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී අනාවරණය වී ඇති ආකාරයට අද වන විට දේශීය අගය එකතු කිරීම 35% – 45%ක පවත්වාගනිමින් මාසයකට පූර්ණ වශයෙන් එකලස් කරන ලද වාහන 150කට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට හැකිව තිබේ.

“එදා විශේෂ අවශ්‍යතා වෙනුවෙන් රජයෙන් ලැබුණු ඇණවුමකට මසකට වාහන 03 – 04ක් එකලස් කිරීම සිදුවූවත් අද මසකට වාහන 150කට අධික ප්‍රමාණයක් එකලස් කිරීම දක්වා ගෙවී ගිය කාලය තුළ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පැමිණ තිබෙනවා. මම හිතනවා ලබන වසරේ යළි අප මෙහි පැමිණෙන විට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමහරවිට වාහන එන්ජිමේ ඇතැම් කොටස් පවා දේශීයව නිපදවන තත්ත්වයකට මේ කර්මාන්තය පත් කිරීමට කැප වෙයි කියලා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී ලංකා අශෝක් ලේලන්ඩ් කම්හල් පරිශ්‍රයෙහි නවීන තාක්ෂණයෙන් යුත් මෝටර් රථ වර්ණගැන්වීමේ යාන්ත්‍රික මෙහෙයුම් සංකීර්ණයක් විවෘත කිරීමද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු වී තිබේ.

මෙම අවස්ථාවට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන, කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් යන මහත්වරු ද ගෙවී ගිය මාස කිහිපය තුළ වාහන 750කට අධික ප්‍රමාණයක් ඇණවුම් කළ ව්‍යාපාරික පිරිසද එක්ව සිට ඇත.

Visits: 250