ඉන්ධන මිල ඉහළට

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහල දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ තෙල් පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින්, ඔටෝ ඩිසල් ලීටරයක් රු.10කින්, සුපිරි ඩිසල් ලීටරයක් රු.15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් ඉහල දමා ඇතැයි සඳහන් වෙයි.

මෙම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමගින්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.177ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 207ක්, ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 121ක්, සුපිරි ඩිසල් ලීටරයක නව මිල රු. 159ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රු. 87ක් ලෙස සටහන් වන බවත් එම සංස්ථාව සඳහන් කරයි.

රටෙහි පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයනයට පවතින බාධාව සැලකිල්ලට ගනිමින් රට තුළ ඉන්ධන පරිභෝජනය අධෛර්යමත් කිරීමේ අරමුණින් ඉන්ධනමිල ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවද පසුගියදා මුදල් අමාතයාංශය වෙත යෝජනා කර තිබූ බව පැවසෙයි.

මෙම ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව ලංකා අයිඕසී සමාගම මෙතෙක් නිවේදනයක් නිකුත් කර නැත.

Visits: 73