ඛනිජ තෙල් සඳහා ඉරානයට ගෙවිය යුතු ඩො.මිලියන 250ක් තේ හරහා පියවීමේ එකඟතාවකට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉරානයේ ජාතික තෙල් සමාගම වෙත ගෙවිය යුතු ඇ.ඩො 250, 925, 169 (ඇ.ඩො. මිලියන 250.9) ක මුදලක් තේ අපනයනය හරහා පියවීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කිරීමට අදාල අවබෝධතා ගිවිසුමකට එළැඹුණු බව රජය පවසයි.

ඒ අනුව මෙරට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ඉරානයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය එක්ව අද දිනයේදී කොලඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මේ සඳහා වන ගිවිසුමට අත්සන් කර තිබේ.

එහිදී වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරානයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍ය Alireza Paymanpak යන මහත්වරුන් විසින් එම දෙපාර්ශවය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබිම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ගරු Hashem Ashjazadeh, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලඹගේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් J.M. තිලකරත්න බණ්ඩා, අතිරේක ලේකම් හර්ෂ ඉලුක්පිටිය, අතිරේක ලේකම් H.M.J.R.R.J. විජේරත්න මෙන්ඩිස්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ, ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති W.W.D. සුමිත් විජේසිංහ සහ ඉරානයේ කර්මාන්ත, පතල් හා වෙලඳ අමාත්‍යංශයේ නීති අංශයේ අධ්‍යක්ෂක ජනරාල් Haji Hosseini ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

Visits: 588