hSenid වටිනාකම් ඉහළ යාම දිනය සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙයි

අද (දෙසැම්බර් 21) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී කැපී පෙනෙන සාර්ථකත්වයකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම අද දිනයේදී ලැයිස්තුගත වූ hSenid බිස්නස් සොලියුෂන්ස් සමාගමේ වටිනාකම් ඉහළ යාම හේතු විය.

එහෙත් ආයෝජකයන් වැඩි දෙනකු සිය කොටස් අලෙවියට යොමුවීමත් සමගින්ම දර්ශක අගයන් පහත වැටීමක් සිදුව තිබේ. එසේම ඉන්ධන මිල සංශෝධනය මෙන්ම රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවනු ඇති බවට වන අදහස් නිසා සියලු කොටස් මිල දර්ශකය ඒකක 200කින් පමණ පහතට වැටුණු බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් දිනයේ අගභාගයේදී දර්ශක අගයන්හි කැපී පෙනෙන යථාවත්වීමක් පෙන්නුම් කරමින් ආයෝජකයන් තුළ විශ්වාසය තවදුරටත් ඉහළ යාමක් දැකගත හැකි විය. අද දිනයේදී විදේශ ආයෝජකයන් අතර මිලදී ගැනීම් කිහිපයක් වාර්තා විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,454.14 ත් ඒකක 11,712.77ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,640.91ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 20) දිනයට සාපේක්ෂව ඒකක 9.19ක් එනම් -0.08%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+24.62), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+15.09), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+5.71), hsenid බිස්නස් සොලියුෂන්ස් පීඑල්සී HBS (+5.39), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.22), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-19.57), හේලීස් පීඑල්සී HAYL (-3.78), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.42), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-2.35), සම්පත් බැංකුව SAMP (-2.3) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව මෙල්ස්ටාකෝර්ප් සමාගම තුළ සිදු වූ ගනුදෙනුවක් දිනයේ පිරිවැටුමෙන් 0.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 56ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 146ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,172.68ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 20) ‍ට සාපේක්ෂව ඒකක 17.69ක එනම් -0.42%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.02ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 20) වාර්තා කළ රුපියල් බිලියන 5.42ට  සාපේක්ෂව 25.9% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.21ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 75.81%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 75.25ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 61.27ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.97කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය hSeind බිස්නස් සොලියුෂන්ස් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.54කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.75ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 941ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 27%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 576ක සහ රුපියල් මිලියන 571ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 263