ඊස්ටර්න් මර්චන්ට්ස් සතු ගබඩා දෙකක් රු.මිලියන 645කට බ්‍රවුන්ස් ඉන්ජියරිං වෙත අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඊස්ටර්න් මර්චන්ට්ස් පීඑල්සී සමාගම සතු ගබඩා සංකීර්ණ දෙකක්, බ්‍රවුන්ස් ඉංජිනියරිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් පෞද්ගලික සමාගම වෙත අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය දෙසැම්බර් 10 වැනිදා ඊට අදාළ ගනුදෙනුව සමථයකට පත් කර තිබේ. මෙහිදී බ්‍රවුන්ස් ඉන්ජිනියරිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 645ක (645,000,000ක) මුදලකට එම මිලදී ගැනීම සිදු කර තිබේ.

පසුගිය සිකුරාදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් ඊස්ටර්න් මර්චන්ට්ස් පීඑල්සී සමාගම මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබුණි.

මෙහිදී ඊස්ටර්න් මර්චන්ට්ස් පීඑල්සී සමාගම පවසන ආකාරයට සපුගස්කන්ද, ගෝනවල පාරේ, අංක 101 දරන ස්ථානයේ පිහිටි ගබඩා සංකීර්ණය සහ සපුගස්කන්ද, උදය මාවතේ අංක 20 දරන ස්ථානයේ පිහිටි ගබඩා සංකීර්ණය මෙලෙස අලෙවි කර තිබේ.

මේ අතර ඊස්ටර්න් මර්චන්ට්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ගත් තීරණයකට අනුව මෙහිදී ගැනුම්කරුවා සමගින්, කොන්දේසි සහිතවූ අලෙවි මිලදීගැනීම් එකඟතාවක් වෙත පිවිසීමටද කටයුතු යොදා තිබේ.

ඒ අනුව එම එකඟතාව යටතේ ගැනුම්කරුවා විසින් අදාළ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී අත්තිකාරමක් ලෙස රුපියල් මිලියන 50ක් ගෙවිය යුතුව තිබේ.

එසේම මෙම ගනුදෙනුව ලබන 2022 වසරේ පෙබරවාරි 28 වැනිදාට පෙර අවසන් කළ යුතුව ඇති බවත්, එහිදී ඉතිරි රුපියල් මිලියන 595ක මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දැයි යුතුව තිබේ.

1945 වසරේදී ආරම්භ කෙරුණු ඊස්ටර්න් මර්චන්ට්ස් පීඑල්සී සමාගම මෙරට තුළ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන භාණ්ඩ අපනයනයේ යෙදෙන සමාගමකි. සුමනේ සහ වින්ස්ටන් කරුණාරත්න සහෝදරයන් එහි නිර්මාතෘවරුන්ය. සමාගම 1981 වසරේදී ලැයිස්තුගත සමාගමක් බවට පත්ව තිබේ.

Visits: 884