වසරේ මුල් මාස 09 දී මත්තල ගුවන් මගී මෙහෙයුම්හි 52%ක වර්ධනයක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතුයොදන බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඒ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම මත්තල ගුවන්තොටුපළ මේ වසරේ මුල් මාස 09 ක කාලය තුළ ගුවන් යානා 518 ක මෙහෙයුම් සිදු කර තිබේ. එසේම මගීන් 27,859 කට පහසුකම් සලසා ඇත. හසුරුවා ඇති ගුවන් භාණ්ඩ සංඛ්‍යාව මෙට්‍රික් ටොන් 21.5 කි.

මෙය පෙර වසරේ මුල් මාස 09ට සාපේක්ෂව මගි මෙහෙයුම් 52% ක වැඩිවීමකි. එසේම භාණ්ඩ මෙහෙයුම් 106% ක වැඩිවීමක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සදහා සහන රැසක් ලබා දී තිබේ. ගුවන් තොටුපළ අපනයන බද්ද වන ඇමෙරිකානු ඩොලර් 60 ක මුදල වසර දෙකක් සදහා ලබා ගැනීම අත්හිටුවා ඇති අතර ගොඩබෑමේ හා නැවතුම් ගාස්තු වලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබේ.

ඉතා ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මගින් ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සදහා ද සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ඇමතිවරයා පවසයි.

සංචාරකයන්ගේ  පහසුව සදහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති අතර සන්නිවේදන සේවා හා බැංකු කවුන්ටර් පවත්වාගෙන යාම සදහා ද මේ වන විට අවසර දි තිබේ.

දැනටමත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට මාලදිවයින, කටාර්, එයාර් ඒෂියා යන ගුවන් සේවා සෘජු ගුවන් ගමන් සිදුකරයි. තවත් ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ම ලබන වසරේ දි මත්තල නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඔවුන් සමග මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව ඇමතිවරයා කියයි.

සලාම් එයාර් ගුවන් සමාගම සිය භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එමිරේට්ස් ගුවන් සමාගම ද ඉතා නුදුරේ දිම සිය භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපළ තුළ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

මීට අමතරව මුහුදු නාවික කාර්යය මණ්ඩල මාරු විම සදහා කේන්ද්‍රස්ථානයක් ලෙස ද මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමට පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සමාගම හා එයාර් ඒෂියා ගුවන් සමාගම දැනටමත් සිය මෙහෙයුම් මත්තලට ක්‍රියාත්මක කරයි. 2020 පෙබරවාරි මාසයේ සිට ඉන්දියානු කළාපය වසා දැමීම නිසා මුහුදු කාර්යය මණ්ඩල මාරු වීම සදහා මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ අතර මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානා නඩත්තු හා අලුත්වැඩියා කිරීම් පහසුකම් ස්ථාපිත කිරීමෙ කෙරෙහි ද රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව විදේශ ආයෝජනයක් මගින් හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස එය ආරම්භ කිරිමට අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Visits: 114