madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය දියත් කරයි

කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සකස් කළ madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිල වශයෙන් ජනගත කෙරීම ඊයේ දිනයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 2020 දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භ කළ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය මගින් මෙරට ගුණාත්මක භාවයෙන් ඉතා උසස් දේශීය නිෂ්පාදන සඳහා ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ලබා දීමත් එම සන්නාමය ලබාගත් නිෂ්පාදනවල අලෙවිය ප්‍රවර්ධනය කිරීමත් සිදුකරමින් තිබේ. එහි ඊළග පියවර ලෙස මෙම madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය දියත් කිරිම සිදුව තිබේ.

එය ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා (B to C) සම්බන්ධ කරන අන්තර්ජාල වෙළඳ ද්වාරයක් පමණක් නොව, ව්‍යාපාරිකයා සහ ව්‍යාපාරිකයා (B to B) සම්බන්ධ කරන අන්තර්ජාල වෙළඳ ද්වාරයකි.

එමගින් දෙස් – විදෙස් වෙළෙඳපොළ ජයගත නොහැකිව සිටින, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන සතු දේශීය නිෂ්පාදකයන්ට, ඉතාම සහනදායී ක්‍රමවේදයක් යටතේ එකී වෙළෙඳපොළ අතික්‍රමණය කිරීමට අවස්ථාව උදා කර දීමට අපේක්ෂිතය. සුප්‍රකට අන්තර්ජාල වෙළඳ ද්වාර තුළ තිබෙන සියලුම පහසුකම් මෙම madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය තුළ ද ඇතුළත්ව ඇතැයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරු ද එක්ව සිට ඇත.

Visits: 115