Victoria Golf & Country Resort ලංකාවේ විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩාංගණය ලෙස සම්මානයට

අටවැනි ලෝක ගොල්ෆ් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩාංගණය ලෙස සම්මාන දිනාගැනීමට John Keells Properties (JKP) සමාගමට අයත් Victoria Golf & Country Resort (VGCR) සමත් වූ බව ප්‍රකාශ කරයි.

මෙම සම්මාන උළෙල, ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ධ ප්‍රමුඛතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් ලෙස සැලකේ.

John Keells Properties (JKP) සමාගම සතු Victoria Golf & Country Resort කළමනාකරණය කරනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් Troon International මගිනි. වික්ටෝරියා ජලාශයට යාබදව දිගන ප්‍රදේශයේ පිහිටි මෙම ක්‍රීඩාංගණය, එහි අලංකාරය ඇතුළු සාධක රැසක් නිසා බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්වී තිබේ.

“John Keells Properties සමාගම තමන් සතු වත්කම්හි සිදුකරන ගුණාත්මක සංවර්ධනය සඳහා නිරන්තරයෙන් සිදුකරන ආයෝජනයන්, කාර්ය මණ්ඩලයේ කැපවීම සහ VGCR සාමාජිකයන්, පදිංචිකරුවන් සහ අමුත්තන් ඇතුළු සියලුම දෙනාගෙන් ලැබුණු සහයෝගය නිසා අපට මෙම ජාත්‍යන්තර සම්මානය හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.” John Keells Properties සමාගමේ ව්‍යාපාර අංශ ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි විධායක උප සභාපති නයන මාවිල්මඩ මහතා පැවසී ය.

“COVID-19 හේතුවෙන් රටේ සංචාරක ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇතිවුණා. එම තත්ත්වය නැවත යහපත් අතට හැරෙමින් පවතින මේ මොහොතේ, ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් නිසි ආයෝජනයන් සිදුකිරීම අත්‍යවශ්‍යයි. ගොල්ෆ් සංචාරක ක්ෂේත්‍රය (Golf tourism) යනු ලොව සංචාරක කර්මාන්තයේ වැදගත් අංගයක්. මෙම සම්මානය, ගොල්ෆ් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමට උපකාරී වේවි.” Victoria Golf and Country Resort හි සාමාන්‍යාධිකාරී අසේල වෑවිට මහතා පැවසී ය.

Victoria Golf and Country Resort යනු ලොව විශිෂ්ටතම ක්‍රීඩා පිටි වල අත්දැකීම් ලැබූ ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයන්ට පවා සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට සමත් වන, ඉතාමත් අලංකාර ගොල්ෆ් ක්‍රීඩාංගණයකි. Donald Steele & Co. විසින් 1977 වසරේදී සැලසුම් කරන ලද, අක්කර 517 කින් යුත් මෙම ක්‍රීඩාංගණය, Golf Digest මගින් ලොව සුන්දරම ගොල්ෆ් ක්‍රීඩාංගණ 100 ලැයිස්තුවටද ඇතුළත් කර ඇති අතර, මෑතකදී එම පරිශ්‍රය තුළ විලා (Villa) වර්ගයේ නිවාඩු නිකේතන හා ටවුන්හවුස් (Townhouse) වර්ගයේ නිවාස පෙළක්ද ඉදිකරන ලදි. මීට අමතරව 2020 වසරේදී ආරම්භ කළ Sunrise Ridge Holiday Homes නිවාස ව්‍යාපෘතියේ 50% ක් මේ වනවිටත් අලෙවි වී ඇති අතර, එහි ප්‍රමුඛතම බිම්කොටස් සියල්ල දැනටමත් විකිණී අවසන් ය.

මෑතකදී ඇමරිකාවෙන් ගෙන්වන ලද “Zorro Zoysia” නම් විශේෂ තණකොළ වර්ගය ඇතිරීම සහ අති-නවීන ජල සැපයුම් පද්ධතියක් සවිකිරීම ඇතුළු නවීකරණ කටයුතු රැසක්ද Victoria Golf and Country Resort හි සිදුකරන ලදි.

ලොව පුරා ගොල්ෆ් ක්‍රීඩාංගණ 640 කට වැඩි සංඛ්‍යාවක් කළමනාකරණය කරන Troon International විසින්, ඉහළම තලයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව Victoria Golf and Country Resort කළමනාකරණය කරනු ලබයි. එම නිසා එහි සාමාජිකයන්ට Troon International හි කළමනාකාරීත්වය යටතේ පවතින අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී ලැබෙන විශේෂ වරප්‍රසාද හිමිකර ගැනීමටද අවස්ථාව ලැබී ඇත.
ලෝක ගොල්ෆ් සම්මාන (World Golf Awards™) යනු, මේ වනවිට වසර 27 ක් පුරා පවත්වා ඇති World Travel Awards™ හා සම්බන්ධ සම්මාන උළෙලකි. Destination Golf, TV5Monde, International New York Times, Bloomberg සහ CNBC එහි ජනමාධ්‍ය හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. එම ආයතන වල වල පාඨක සංඛ්‍යාව මසකට මිලියන 1.7 ඉක්මවන අතර, රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාව මසකට මිලියන 90 ඉක්මවයි.

Visits: 270