Takas.lk හරහා මෝටර් රථ අලෙවියත් ඇරඹෙයි

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ නිරත මෙරට ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Takas.lk වෙබ් අඩවිය මගින් මෝටර් රථ අලෙවි කිරීමක් සම්බන්ධයෙන්ද දැන්වීම් පළ කිරීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙතෙක් කලක් එම වෙබ් අඩවිය තුළ අලෙවියට තබා තිබුණේ ජංගම දුරකතන ඇතුළුව විවිධ තාක්ෂණික උපාංග, ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, විවිධ ආහාර වර්ග, මල් කළඹ යනාදී දෑ පමණකි. ඒ අනුව මෝටර් රථයක් එම අන්තර්ජාල වේදිකාව හරහා අලෙවි කෙරුණු පළමු අවස්ථාවද මෙය වෙයි.

මෙහිදී Mahindra KUV100 K6+ 2021 විශේෂිත සංස්කරණය ලෙස සඳහන් කරමින් SUV මාදිලියේ මහින්ද්‍රා මෝටර් රථයක දැන්වීමක් පළ කිරීමට Takas.lk වෙබ් අඩවිය කටයුතු යොදා තිබේ. මෙය Mahindra KUV100 NXT ලෙසින් නම් කර තිබේ.

එසේම මෙම රථය ශ්‍රී ලංකාවේ ඇති එකම නවතම SUV රථය ලෙසින්ද ඔවුන් හඳුන්වා දෙයි. මෙහිදී රථයේ මිල රුපියල් 5,095,000ක් වන අතර, මාසිකව රුපියල් 95,412ක් බැගින් වූ වාරික ලෙස මෙම මුදල ගෙවීමේ පහසුකම්ද ලබා දෙන බව එම දැන්වීමේ වැඩිදරටත් සඳහන් වෙයි.

Takas.lk වෙබ් අඩවියේ වර්තමාන හිමිකරුවන් වන්නේ අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් සමාගමයි. එම සමාගම මෙරට තුළ මහින්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ නිරත අයිඩියල් මෝටර්ස් සමාගම අයත් අයිඩියල් සමූහ ව්‍යාපාරය යටතේ පවතින සමාගමකි.

Takas.lk වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන ලහිරු පත්මලාල් මහතා විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එම වෙබ් අඩවිය අයිඩියල් සමූහයේ සභාපති නලින් වෙල්ගම මහතාට අලෙවි කිරීම සිදු විය.

ඒ අනුව අයිඩියල් සමූහ ව්‍යාපාරය මගින් මෙරට වෙළෙඳ පොළට නිකුත් කරන මෝටර් රථ මෙලෙස Takas.lk වෙබ් අඩවිය හරහාද අලෙවි කිරීමට දැන් කටයුතු සම්පාදනය වී තිබේ.

විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසක්  හිමි අයිඩියල් සමූහ ව්‍යාපාරය සතුව මේ වනවිට මෝටර් රථ, සූර්ය බල විදුලිය, මූල්‍ය, මෝටර් රථ අමතර කොටස්, මෝටර් රථ අලුත්වැඩියාව, ලිහිසි තෙල් අලෙවිය ඇතුළු ක්ෂේත්‍ර රැසක පරිපාලිත සමාගම් 20කට ආසන්න ප්‍රමාණයක් පවතී.

Visits: 179