රසායනික පොහොර ආනයනය කිරීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ පැසසුමට

රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කරයි. එමෙන්ම මෙම ගැටළුවට සියලූ පාර්ශවයන්ට එකඟ විය හැකි දිගුකාලීන විසඳුමක් සඳහා අදාල බලධාරීන්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එම සංගමය අවධාරණය කර සිටී.

තේ, රබර් සහ අනෙකුත් වාණිජ වැවිලි බෝග වගාවන්ට සම්බන්ධ කලාපීය වැවිලි සමාගම් (RPCs) නියෝජනය කරන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මෙම තහනම සඳහා බලපෑ මූලික හේතූන් සොයා බලා ඒවා විසඳීම සඳහා ප‍්‍රධාන පාර්ශවකරුවන් අතර සහයෝගීතාවක් අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ‘’කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත‍්‍රවල ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් නැවතත් පොහොර ආනයනය කිරීමට රජය ගත් මෙම තීරණය අප අගය කරන අතර එම තීරණය ක‍්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස අප ඉතා කාරුණිව ඉල්ලා සිටිනවා.මෙරට බොහෝ ප‍්‍රජාවකගේ ජීවනෝපායන් සඳහා දැඩි බලපෑමක් එල්ල කළ මෙම කාරණය දැඩි ලෙස විවාදයට ගැණුනා. නමුත් දැන් මෙම බුද්ධිමත් තීරණය නිසා අදාල පාර්ශවයන් අතර සහයෝගීතාවක් ඇති කිරීමට මෙය කදිම අවස්ථාවක් බව අපේ හැඟීමයි.’’ යනුවෙන් පැවසුවේය.

‘‘මෙරට වැවිලි කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රමුඛතම නියෝජිතයා ලෙස කාබනික ගොවිතැන අනුගමනය කිරීමට ප‍්‍රායෝගික අවස්ථා හඳුනා ගැනීමටත් මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමටත් බලධාරීන් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය උපරිම කැපවීමෙන් කටයුතු කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ප‍්‍රධාන වශයෙන් අපනයන බෝග වගාකරුවන් ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතයේදී දැඩි පරීක්ෂණයකට භාජනය කරනු ලබන අතර එම වගාවන් සඳහා කෘෂි යෙදවුම් යෙදීමේදී (RPSs) තේ සහ රබර් පර්යේෂණායතයන් (TRI හා RRI) වැනි ආයතනවල නිර්දේශවලට අනුකූලව කටයුතු කරනු ලබයි. කෙසේ වෙතත් විශේෂයෙන්ම දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් රට තුළ වගා කරනු ලබන සියලූම වගාවන් සඳහා මෙය අදාල නොවිය හැකි බැවින් මේ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම PA පෙන්වා දෙයි. එවැනි සහයෝගීතාවයක් තුළින් සියලූ පාර්ශවකරුවන් ප‍්‍රතිලාභ ලබනු ඇති බව PA නැවතත් අවධාරණය කරයි. එමගින් වගාවන් සඳහා කෘෂි යෙදවුම් භාවිතය අවම කරනු ඇත. එය ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීමට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබා දෙමින් කාබනික කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමේ රජයේ දැක්මෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය. 

Visits: 121