සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලාභාංශ නිවේදනයත් සමග කොටස් වටිනාකම 3.84%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (CFIN.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට තීරණය කර ඇතැයි ඊයේ (01දා) නිවේදනය කෙරිණි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසා සිටියි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවිම බවද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 31 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස දෙසැම්බර් 13 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී වැඩිදුරටත් පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වී දහවල් 12.30 වනවිට සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 86.60ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී එම සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 83.40ට සාපේක්ෂව රුපියල් 3.20ක එනම් 3.84%ක ඉහළ යාමකි.

Visits: 246