අශෝක් ලේලන්ඩ් සමාගම සිය විදුලි වාහන අංශයට සුදුසු ආයෝජකයන් සොයයි

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි එරට ට්‍රක් සහ බස් රථ යන වාණිජ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වෙන අශෝක් ලේලන්ඩ් සමාගම සිය විදුලි මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපරය වෙනුවෙන් සුදුසු ආයෝජකයන් පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව පවසයි.

සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ගෝපාල් මහාදේවන් පසුගියදා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

අශෝක් ලේලන්ඩ් සමාගම සිය විදුලි මෝටර් රථ ව්‍යාපාර දැනටමත් සිය පරිපාලිත සමාගමක් වන Switch Mobility වෙත හුවමාරුවක්ද සිදු කර තිබේ. මෙම සමාගම බ්‍රිතාන්‍යයේ Switch සමාගම සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව පිහිටවූ සමාගමකි. ඉදිරියේදී සිය විදුලි මෝටර් රථ නිෂ්පාදන අවස්ථා වර්ධනය වෙනුවෙන් එම පියවර ගෙන ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව මෙම නව සමාගම බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් සහ ඉන්දියාවේ චෙන්නායි යන නුවරවල පිහිටි කාර්යාල හරහා පාලනය කෙරෙන බව පැවසෙයි.

“විදුලි-වාණිජ මෝටර්රථ (e-LCV) සහ විදුලි බස් රථ සඳහා අපට නිෂ්පාදන සංවර්ධනයට මෙන්ම තාක්ෂණය සඳහාත් ආයෝජන අවශ්‍යව පවතිනවා. Switch Mobility මගින් දැනටමත් Dost සහ Bada Dost යන ට්‍රක් රථ මාදිලිවල විදුලි වාහන සංස්කරණ ඉදිරිපත් කර තිබෙනවා. මේ විදුලි වාහන මුලපිරීම අපිට අතිශය වැදගත් අවස්ථාවක්. මොකද ආයෝජකයන් අතරත් ඒ සඳහා යම් උනන්දුවක් තිබෙන බව අපිට පෙනෙනවා. ඒත් අපි වඩාත් සුදුසුම මූල්‍ය සහ ක්‍රමෝපියාක හවුල්කරුවා ලැබෙන තෙක් බලාගෙන සිටිනවා.” යනුවෙන් ප්‍රධාන මූල්‍ය නිලධාරී ගෝපාල් මහාදේවන් මහතා පවසා තිබේ.

විශේෂයෙන්ම ඉන්දියානු රජයත් එරට තුළ විදුලි මෝටර් රථ නිෂ්පාදනය සඳහා වන දිරිමත් කිරීම් සිදු කරමින් පවතින අතර, ඒ හරහා සිය ඉන්ධන ආනයන වියදම අඩු කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම සැලසුම වී තිබේ.

ඒ අනුව දැනටමත් ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක්ම සිය විදුලි මෝටර් රථ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජකයන් සොයමින් සිටියි. මහින්ද්‍රා සහ මහින්ද්‍රා, බජාජ් ඔටෝ සහ ටීවීඑස් මෝටර් සමාගම ඒ අතර වෙයි. එසේම ටාටා මෝටර්ස් සමාගම දැනටමත් සිය විදුලි මෝටර් රථ නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජකයන් කිහිප දෙනෙකුම හිමිව ඇතැයි සඳහන් වෙයි.

අශෝක් ලේලන්ඩ් සමාගමේ පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක Switch Mobility හරහා මූලිකවම විදුලි බස් රථ නිපදවීම අරමුණ වී ඇති අතර, ඒවායේ ආසන ධාරිතාව ආසන 32 සිට 99 දක්වා වන බව පැවසෙයි. එසේම එක් ආරෝපණයකදී කිලෝමීටර් 200ත්, 300ත් අතර දුරක් ඒවා ධාවනය කළ හැකි බවත් සඳහන් වෙයි. මෙම සමාගම යටතේ නිපදවූ පළමු විදුලි බස් රථ 40ක් චන්දිගර්හි ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

එසේම දැනටමත් සමාගම මගින් නිපදවා ඇති සැහැල්ලු වාණිජ මෝටර් රථ ලෙස හඳුන්වන Dost සහ Bada Dost යන ට්‍රක් රථ මාදිලිවල පිළිවෙලින් කිලෝග්‍රෑම්1,000ත්, 1,300ත් අතර බරක් පැටවිය හැකිය. එසේම මෙම රථ එක් ආරෝපණයකින් කිලෝමීටර් 150ක දුරක් ධාවනය වන බවත් පැවසෙයි.

Visits: 308