HNB මෙරට අපනයනකරුවන් සඳහා ප්‍රථම ඩිජිටල් වෙළෙඳපොළ වන Cord360.com හා එක්වෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අපනයනකරුවන්ට සහ දේශීය නිෂ්පාදකයින්ගේ ව්‍යාපාරවලට නව ගෝලීය සැපයුම් දාමවල නිරත වීමට සහාය වීම සඳහා e-වාණිජ්‍ය වේදිකාවක් වන Cord360.com සමඟ පසුගියදා අත්වැල් බැඳගත් බව පවසයි.

මෙම හවුල්කාරීත්වය යටතේ www.cord360.com හරහා සියලූම HNB හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් මූල්‍ය, භාණ්ඩ ප‍්‍රවාහන සේවා, ඇසුරුම්කරණය සහ වෙළඳපල ප‍්‍රවේශය යන ක්ෂේත‍්‍රවල අපනයනයන්ට සම්බන්ධ වැඩකටයුතු සඳහා සහාය වීමට ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට විවිධ කටයුතු එක් තැනකින් සිදු කර ගත හැකි (one-stop-shop) විසඳුමක් ලබා දෙනු ඇත.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක් වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වාණිජ බැංකු කටයුතු, දමිත් පල්ලෙවත්ත මහතා ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය යන ක්ෂේත‍්‍රවල ප‍්‍රමුඛයා ලෙස අප තබා ඇති සලකුණ හේතුවෙන් රටේ මීළඟ විශාල සමාගම් බවට පත්වීමට අපේක්ෂා කරන නැගී එන ව්‍යාපාරික ආයතන සඳහා අපගේ ගනුදෙනුකරුවන් වැඩි කර ගනිමින් සිටිනවා. හෙට දවසේ ආයතනවල වර්ධනය, දැනට පවතින සමාගම්වල සැපයුම් දාමයන් සහ රටේ විශාලතම ව්‍යවසායක කාණ්ඩයේ සමාජ ආර්ථික ප‍්‍රගතිය සඳහා සහාය වීම වෙනුවෙන් අප දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා.’’

”ජාත්‍යන්තර හවුල්කරුවන් හා සම්බන්ධ වෙමින් වෙළෙඳපොළ සොයා ගැනීම අපනයනකරුවන් මුහුණ දෙන තීරණාත්මක අභියෝගයක්. වෙළෙඳපලට ප‍්‍රවේශ වීමේ උපායමාර්ග ගොඩනගමින් ප‍්‍රවර්ධනය හරහා ප‍්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කාලය, ශ‍්‍රමය සහ මුදල් අවශ්‍ය වනවා. අපනයන වෙළෙඳ නාම එක රැයකින් බිහි නොවන අතර ජාත්‍යන්තර වෙළඳපොළ ජයග‍්‍රහණය කිරීමට එවැනි ව්‍යාපාර සඳහා විශාල ආයෝජන අවශ්‍ය වෙනවා. Cord360 සමඟ HNB හවුල්කාරීත්වයක් සුදුසු වන්නේ එහිදීයි. ප‍්‍රවේශ විය හැකි තොරතුරු සම්භාරයක් සමඟින් එය අපගේ ගනුදෙනුකරුවන්ට වෙනස් අත්දැකීමක් ලබා දෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Cord360.com සමඟ ඇති හවුල්කාරීත්වය අපනයනකරුවන්ට වෙළෙඳපල ප‍්‍රවේශයට ඇති සියලූම සාම්ප‍්‍රදායික බාධක බිඳ දැමූ නව ඩිජිටල් මාවතක් විවර කරයි. අපනයන භාණ්ඩ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට නිර්මාණය කළ ජාත්‍යන්තර මාර්ගගත B2B වේදිකාවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අපනයනකරුවන්ට මේ තුළින් ඔවුන්ගේ වෙළෙඳ භාණ්ඩ පිළිබඳ විවිධ භාෂා 10 කින් වෙළෙඳ දැන්වීම් පළ කළ හැකි අතර ගෝලීය කලාප හයකට නිෂ්පාදන 40 කට වැඩි ප‍්‍රමාණයක් තැපැල් කළ හැකිය.

”ගැණුම්කරුවන්ට සීමිත ප‍්‍රවේශයක් ඇති වෙළඳ ප‍්‍රදර්ශන හරහා හෝ තැරැව්කරුවකු හරහා යමක් මිලදී ගැනීමට හෝ විකිණීමට ජාත්‍යන්තර වෙළෙඳාම සමඟ සම්බන්ධ විය යුතුව තිබූ කාලය අවසන්. ගැණුම්කරුවන් හා විකිණුම්කරුවන් සෘජුවම සම්බන්ධ කරගනිමින් ක්ලික් කිරීම් කිහිපයක් හරහා අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු සිදු කරගත හැකියි. සැලසුම් කරන ලද වේදිකාවක් මත මාර්ගගත වෙළෙඳ ගනුදෙනු කටයුතු සිදු කිරීම ඉතා ලාභදායී. වැඩි වැඩියෙන් ගැනුම්කරුවන් සහ වෙළෙඳ සමාගම් මාර්ගගත අවස්ථා වෙත ප‍්‍රවේශ වීමත් සමඟ වෙළෙඳපල පර්යේෂණ සිදු කිරීම සඳහා යන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සාර්ථක ගනුදෙනු සිදු වන විටදී අපනයනකරුවන්ට ඉහළ ආදායමකින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සැලසෙනවා.’’ යනුවෙන් Cord360 (Pvt) Ltd සභාපති, ආචාර්ය ආසිරි ගුරුසිංහ මහතා පැවසුවේය.

Visits: 56