සොෆ්ට්ලොජික්හි අශෝක් පතිරගේ LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නිර්මාතෘ සහ සභාපති අශෝක් පතිරගේ මහතා කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව මෙම තරගාවලියේ කණ්ඩායමක් දේශීය සමාගමක් විසින් මිලදී ගත් පළමු අවස්ථාවද මෙය වෙයි. මෙවර LPL තරගාවලිය ලබන දෙසැම්බර් 05 වැනිදා ආරම්භවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් රැසකින් සමන්විත සමූහයක් ලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හඳුනාගෙන තිබේ. එහිදී සිල්ලර භාණ්ඩ අලෙවිය, සෞඛ්‍ය සේවා, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ, මෝටර් රථ මෙන්ම ලෙෂර් යන අංශ රැසක් යටතේම ක්‍රියාත්මක අනුබද්ධිත සමාගම් රැසක් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී යටතේ පවතී.

මෙලෙස LPL දෙවැනි තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සභාපති අශෝක් පතිරගේ මහතා, “ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධවීම අපි ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නේ. ඉදිරි වසර කිහිපයේදී සිදුවන මෙම තරගාවලියේ වර්ධනයේ සහ දායකත්වයේ කොටස් කරුවෙකු බවට පත්වීමට අපට අවශ්‍යයි. අපේ කණ්ඩායම උපරිම හොඳන් ක්‍රීඩා කරමින් හොඳම ප්‍රතිඵලය රැගෙන ඒවි කියන විශ්වාසය අපිට තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙලෙස කොළඹ කණ්ඩායමේ නව හිමිකරු ලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති LPL තරගාවලියේ සංවිධායකයන් වන ඩුබායි නුවර පිහිටි IPG නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, “සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගත් බව නිවේදනය කිරිම LPL තරගාවලියේ දැවැන්ත පියවරක්. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කියන්නේ ශ්‍රී ලාංකික උරුමයක් සහිත සමාගමක්. ඔවුන් සමගින් කටයුතු කිරිමට ලැබීම අපිට ගෞරවයක්. විශේෂයෙන්ම ගෝලීයව ක්‍රියාත්මක වන තරගාවලියක් ලෙස, LPL තරගාවලිය තුළ ජාත්‍යන්තර සහ දේශීය හිමිකරුවන්ගේ සංකලනයකින් එය සංවිධානය වීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රට තුළ මෙන්ම ගෝලීයවත් වර්ධනය සඳහා මූලික වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මේ වන විට LPL තරගාවලියේ කොළඹ කණ්ඩායම Colombo Stars නමින් නම් කර තිබෙන අතර, මෙම හිමිකාරීත්වයේ වෙනසත් සමගින් එම නම වෙනස් වීමේ හැකියාවක් පවතින බවත් සඳහන් වෙයි. එසේම මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම වෙත සම්බන්ධ කරගෙන සිටින ක්‍රීඩකයන්ගේ වෙනස්කම් කිහිපයක්ද සිදු වෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Visits: 305