CLC සහ LOFC සහ EXPO දායකත්වයෙන් ASPI ඒකක 11,000 සීමාව ඉක්මවයි

අද (නොවැම්බර් 16) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් තුළ මෙන්ම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වටිනාකම් ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකය ඉහළ යාමට දායක වී තිබේ. කෙසේ වෙතත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය වටිනා ආයෝජකයන් වෙත බලපෑම් එල්ල කළ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 10,747.10ත් ඒකක 11,047.41ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,008.33ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 15) දිනයට සාපේක්ෂව ඒකක 255.51ක් එනම් +2.38%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 129ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+148.72), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+82.4), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+53.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+27.97), සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී SUN (+5.23), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.67), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-7.74), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-5.24), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-5.22), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-4.34) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,606.85ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 15) ‍ට සාපේක්ෂව ඒකක 4.47ක එනම් +0.24%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.27ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 15) වාර්තා කළ රුපියල් බිලියන 6.91 ට  සාපේක්ෂව 48.6% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.91ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 65.94%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 188.37ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 300.28ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 111.91කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.06ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 56.75කි. එසේම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 51.34ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,909ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 48%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,726ක සහ රුපියල් මිලියන 1,212ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 148