හැරීගේ DCSL වෙතින් ශත 86ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 86ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදුවන බව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 10 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 22 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැතිබවත් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම ලාභාංශ නිවේදනයත් සමගින්ම ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වූ ගනුදෙනු අතරතුරදී ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 17.70ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ශත 30කින් එනම් 1.72%කින් ඉහළ ගොස් තිබේ.

ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් වෙයි.

Visits: 109