SLT සමූහය 2021 වසරේ තෙවන කාර්තුවේදීත් ඉහළ ප්‍රතිඵල වාර්තා කරයි

SLT-MOBITEL, 2021 තෙවන කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2 ක්ලෙස වාර්තා කිරීමට සමත් වී ඇතැයි පවසයි.

ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක ඉතුරුම් වැඩි කිරීමට හේතු වුණු අතර, එය මෙම වසරේ බදු පසු ලාභයේ වර්ධනයෙන් සහ අඛණ්ඩව ලාභාංශ ගෙවීම මගින් පිළිබිඹු වන බවත් සඳහන් කරයි..

පෙර වසරට සාපේක්ෂව 2021 තෙවනකාර්තුව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 26.7ක්දක්වා, එනම් 15.6% කින් වර්ධනය විය. සමූහයේපොලී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA)පෙර වසරට සාපේක්ෂව 25.7% කින් වර්ධනය වී, රු. බිලියන 10.8ක් ලෙස වාර්තා වී ඇත. EBITDA ආන්තිකයද පෙර වසරේ වාර්තා වූ 37.1% ට සාපේක්ෂව 40.4% ක් දක්වා වර්ධනය වී තිබේ.

පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත් අලෙවි ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීම හේතුවෙන්, 2020 වසරේ මුල් මාස 9 ට සාපේක්ෂව, මෙම වසරේ මුල් මාස 9 තුළ සමූහයේ පිරිවැටුම 14% කින් ඉහළ ගොස්, රු. බිලියන 76.6 ක් ලෙස වාර්තා වී තිබේ. ගෘහස්ථ හා ආයතනික පාරිභෝගිකයන් සඳහා ෆයිබර් සම්බන්ධතාවන් ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ PEO TV හා ජංගම දුරකථන සේවාවන්හි වර්ධනය, මෙම සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ යාම නිසා, බදු-පසු ලාභය, පෙරවසරේඅදාළකාලපරිච්ඡේදයටසාපේක්ෂව 36.1% කින් ඉහළ ගොස්, රු. බිලියන 9.2 ක් ලෙස වාර්තා වී තිබේ.

මෙම වසරේ මුල් මාස 9 තුළ සමූහයේ ප්‍රාග්ධන වැය ආයෝජනයන්හි එකතුව රු. බිලියන 18.2 ක් විය. ජාතික ෆයිබර්කරණ වැඩසටහන යටතේ ෆයිබර් සම්බන්ධතා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සහ, LTE සන්නිවේදන මධ්‍යස්ථාන සහ කුලුනු සඳහා ආයෝජනසිදුකිරීම ඔස්සේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සම්බන්ධතාවන්ගේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමේ මෙහෙවරSLT-MOBITEL විසින් අඛණ්ඩව කරගෙන යන ලදී. එමෙන්ම ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත 5G තාක්ෂණය, පාරිභෝගික අත්දැකීම තවදුරටත් උසස් කරනු ඇත. එමෙන්ම පාරිභෝගික සේවාවේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් මුහුදු සංදාම ජාලය සහ දේශීය දුරකථන ජාලය සඳහා සමූහය සිදුකරන ආයෝජනයන්ද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

SLT සමූහය විසින්, සෘජු හා වක්‍ර බදු සහ ලාභාංශ ඔස්සේ, මෙම වසරේ මුල් මාස 9 තුළ ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන ලද දායකත්වය රු. බිලියන 15.1 කි.

“SLT-MOBITEL මේ වනවිට පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය ඔස්සේ සාම්ප්‍රදායික දුරකථන ක්ෂේත්‍රය පූර්ණ තාක්ෂණික පරිවර්තනයකට ලක්කරමින්, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා රැගෙන යමින් සිටිනවා. නවීනතම තාක්ෂණය මෙන්ම ඉහළම සේවාවක් සැපයීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත වරක් තහවුරුකරමින්,මොබිටෙල්ආයතනය සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත ප්‍රධාන කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු අප මෙම වසරේදී ආරම්භ කළා. 2022 වසරේදී මෙහි ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරුව, අපගේ සියලුම ජංගම සේවාවන් වැලිකඩ පිහිටි මෙම තාක්ෂණික උද්‍යානය වෙත රැගෙන ඒමට අපට හැකිවේවි. පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු වෙනුවෙන් මෙම නව කාර්යාල සංකීර්ණයේ සම්පූර්ණ මහලක්ම වෙන්කර තිබෙනවා. එමෙන්ම, රටට හා ජනතාවට ඉහළම තලයේ සේවාවක් ලබාදෙන අතරම, රටේ ඩිජිටල් පරතරය පියවීම සඳහා රජය දරන උත්සාහයට අප ලබාදෙන සහයෝගය අඛණ්ඩව ක්‍රියාත්මකයි.” යැයි SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

“එන්නත්කරණය වූ ශ්‍රම බලකායක් සමගින් ශ්‍රී ලංකාව නැවතත් පූර්ණ කාර්යක්ෂමතාව ළඟා කරගනිමින් සිටින පසුබිමක, SLT සමූහය විසින් රජය, ජනතාව හා ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාවන් ශක්තිමත් කිරීමේ මෙහෙවර ඉටුකරමින් සිටිනවා. අප සමූහයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම සහ අභියෝගකාරී කාලසීමාව තුළ අප ක්‍රියාවට නැංවූ වැඩසටහන් වල සාර්ථකත්වය නිසා, මේ ආකාරයට විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට අපට හැකි වී ඇති බව පැහැදිලියි. ඉහළම තලයේ සේවාවක් සඳහා ශ්‍රී ලාංකිකයන් දිගින් දිගටම අප කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබීම සහ, තමන්ට අවශ්‍ය සන්නිවේදන විසඳුම් සම්පාදකයා ලෙස ඔවුන් කිසිදු පැකිළීමකින් තොරව අප තෝරාගැනීම අපට මහත් සතුටක්.” SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසී ය.

2021 වසරේ මුල්මාස 9 තුළ, සමූහයේ පරිපාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT) හි පිරිවැටුම 17.3% කින් වර්ධනය වී, රු. බිලියන 44.7ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය ද 45.4% කින් වර්ධනය වී, රු. බිලියන 5.1 ක් ලෙස වාර්තා වී ඇත.නූතන යුගයේ ජාතික සේවා සපයන්නා ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් සමාගම වටා ඒකරාශී වීම තුළින්, පෙර වසරේ සමාලෝචිත කාලයට සාපේක්ෂව මෙම වසරේදී අන්තර්ජාල,PEOTV සහ දේශීය වාහක සේවා (Carrier Domestic Services) ආදායම් ඉහළ ගොස් තිබේ.

Visits: 139