Renuka සමූහය හිමි රාජියාහ් පවුල Guardian Capital Partners PLC හි 83.97%ත් අත්පත් කරගනී

රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී (RHL.N0000) සමාගමට අයත් සමාගම් දෙකක් සහ එහි හිමිකරුවන් වන රාජියාහ් පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු විසින් කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමූහයට අයත් ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී (WAPO.N0000) සමාගමෙහි 83.97%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් බව පවසයි.

ඊයේ (ඔක්. 28) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී සමාගමෙහි කොටස් මිලියන 21.7ක් (21,692,800) එම සමාගම මගින් මිලදී ගෙන ඇති අතර, කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමාගමෙහි (CARS.N0000) පරිපාලිත සමාගමක් වන සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී (GUAR.N0000) වෙත මෙම කොටස් හිමිව තිබී ඇත.

මෙම ගනුදෙනුවට සම්බන්ධ සමාගම් සඳහන් කරන ආකාරයට එක් කොටසක් රුපියල් 32.30ක් බැගින් මිලදී ගැනීම සහ අලෙවි කිරීම සිදුව ඇත. ඒ අනුව සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 700ක් (700,677,440ක්) ලෙස සටහන්ව තිබේ.

මෙහිදී රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් Shaw Wallace & Hedges Ltd සමාගම මගින් ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී සමාගමෙහි කොටස් 8,700,000ක්ද, ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (මීට පෙර රේනුකා කැපිටල් පීඑල්සී) සමාගම මගින් කොටස් 7,742,800ක්ද ලෙස මිලදී ගෙන තිබේ.

ඒ අනුව පිළිවෙලින් Shaw Wallace & Hedges Ltd සමාගම 33.67%ක ප්‍රතිශතයක්ද (රුපියල් මිලියන 283.84කට), ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී මගින් 29.97%ක ප්‍රතිශතයක් (රුපියල් මිලියන 252.13කට) ද මිලදී ගෙන තිබේ.

එසේම රේනුකා හෝල්ඩිංග්ස් නිර්මාතෘවරුන් වන වෛද්‍ය එස්.ආර්. රාජියාහ් සහ බිරිඳ වන රේනුකා රාජියාහ් දෙපළ විසින් ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සීහි කොටස් 2,120,000ක් මිලදී ගෙන තිබේ.

මීට අමතරව එස්.වී. රාජියාහ් සහ ජේ.ජේ.බී.ඒ. රාජියාහ් දෙපළ විසින්ද කොටස් 3,130,000ක් මිලදී ගෙන තිබේ. ඒ අනුව මෙම පිරිස මිලදීගත් කොටස් ප්‍රමාණය එම සමාගමේ 20.33%ක කොටස් ප්‍රතිශතයකි.

ඒ අනුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ පාර්ශ්වයන් කාර්සන්ස් කුම්බර්බැච් සමූහයේ හෝ බුකිට් ඩරාහ් පීඑල්සී සමාගමට කිසිදු සබඳතාවක් නොමැති බවත්, මෙම ගනුදෙනුව සබැඳි නොවන පාර්ශ්ව අතර සිදු වූ ගනුදෙනුවක් බවත් කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Visits: 535