“ඊළඟ වසර 05 තුළදී ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් රට තුළ ගොඩනගනවා” – ඇමති නාමල්

මීළග වසර 05ක කාලය තුළදී රට තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීම සිය සැලසුම බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍යඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඊයේ (28) දින කොළඹපෝර්ට් සිටි හිදී ඒ මහතා මේ බව පවසා තිබේ.

 “අපි එල්.පී.එල් තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව. අනෙක් සියලුම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක්‍රීඩා කළේ. මෙසේ ආරම්භ කළ ගමනට ක්‍රිකට්, පා පන්දු, මළල ක්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා.”.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා “ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් ක්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා.”

ඒ අනුව ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමනේදී ජනතාව මේ සදහා නැඹුරුවීමට මෙවැනි ව්‍යාපෘති හා ආයෝජන අපේ ගමනට බොහෝ උපකාරී වන බවත් හෙතෙම සඳහන් කර තිබේ.

‘‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සදහා මාවත නිර්මාණය කරන බව අපි විස්වාශ කරනවා.“ යනුවෙන්ද පවසා තිබේ.

කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට හිමි වන අතර දැන් අවස්ථාව උදා වී ඇත.

වැඩිහිටියන්ට මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දේශීය හා විදේශීය සංචාරකයින්ට ද වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී තිබේ.

මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.

මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම්) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර, එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.

කළුගල් කඳු අතරින් විහිදී යන මෙම මාර්ගය සුපිරි ත්‍රාසජනක වින්දනයක් ඕනෑම අයෙකුට ලබාදෙන සහ ලබාගත හැකි සුන්දර ධාවන පථයකි.

උද්‍යානය තුළ පාගමනින් ගොස් සුන්දර පාරිසරික කලාප නැරඹීමට ද හැකි අතර මෙහිදී සත්ත්ව හා ශාක ප්‍රජාවේ හැසිරීම ගැන ඔබට නිරීක්ෂණය කළ හැකිය. මෙහි ඇති එක් කඳු මුදුනකදී අංශක 360 ම දර්ශනය වන අතර කොළඹ නගරය හා සබරගමු කඳු පන්ති අලංකාර ලෙස දුර සිට නැරඹිය හැක.

Visits: 72