ජැක් මාගේ චීන ආණ්ඩු විවේචනයෙන් පසුව අලිබාබාට වසරකදී ඩො. බි. 344ක් අහිමි වෙලා

සුප්‍රසිද්ධ අලිබාබා සමාගමේ නිර්මාතෘවරයා වන චීනයේ ජැක් මා විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට ආණ්ඩුව සහ මූල්‍ය පද්ධතිය දැඩි ලෙස විවේචනය කරමින් සිදුකළ අදහස් දැක්වීමෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී අලිබාබා සමාගමේ වටිනාකම දරුණු ලෙස කඩා වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම කාලසීමාවේදී අලිබාබා සමාගමෙහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනය පමණක් ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 344 කින් පහත වැටී තිබෙන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මෙය එතෙක් මෙතෙක් ගෝලීයව සමාගමක කොටස්හිමිකාරීත්වයේ වටිනාකම අතිවිශාල ලෙස පහත වැටුණු පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.

ජැක් මාගේ අලිබාබා සමූහයට අයත් මූල්‍ය සමාගමක් වන Ant Group මගින් සිදු කිරීමට යෝජිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වටිනා මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුකාරී අවස්ථාවේදී ජැක් මා මෙම විවේචන එල්ල කර තිබුණි. මෙම නිකුතුව හරහා චීනයේ මූල්‍ය පද්ධතිය තුළ Ant Group වෙත හිමිවීමට තිබූ ඒකාධිකාරය එහිදී ගැටලුව විය.

එහි ප්‍රතිඵල ලෙස චීන බලධාරීන් එම මූලික කොටස් නිකුතුව අත්හිටුවීමටද පියවර ගත්තේය. එසේම අල්බාබා සමූහයට එරෙහිව විශ්වාසය කඩකිරීම පිළිබඳව පරීක්ෂණයක්ද ආරම්භ කෙරිණි. එහි අවසන් ප්‍රතිඵලය ලෙස අලිබාබා සමූහයට එරෙහිව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.75ක දඩයක්ද පැනවුණි.

මේ අතර ජැක් මා සහ චීන බලධාරීන් අතර ඇති වූ මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මාස කිහිපයක් යන තුරුම ප්‍රසිද්ධ මාධ්‍යයෙන් වසංව සිටියේය. පසුගිය මාසයේදී ඔහු අවසන් වරට හොංකොං නුවරදී හමු විය.

මෙලෙස වසරක කාලයක් පැවැති තත්ත්වයත් සමගින්ම අලිබාබා සමාගමේ කොටසක වටිනාකම කැපී පෙනෙන ලෙස පහළ බැසීමක් සිදු විය. එහිදී පසුගිය ඔක්තෝබර් 04 වැනිදා වන විට එහි වටිනාකම ඩොලර් 139.63ක් විය.

මේ අතර පසුගියදා අනාවරණය වූ පුවතකට අනුව ජැක් මා මේ වනවිට යුරෝපයේ සිටින බවට වන කරුණත් සමගින් සමාගමේ කොටසක වටිනාකම 6෴කින් ඉහළ නැග තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සිට සමාගමේ කොටස් වටිනාකම 30% ක ප්‍රතිශතයකින් යථාවත්විමක් සිදුව තිබේ. එහෙත් එය 2020 වසරේ ඔක්තෝබරයේදී කොටසක අගයට සාපේක්ෂව 40%ක පහළ අගයක් ගනී.

ඒ අනුව මේ සතියේ සඳුදා දිනයේදී අලිබාබා සමාගමේ කොටසක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 174ක් වී තිබූ අතර, 2020 ඔක්තෝබර් 26 වැනිදා එය ඩොලර් 306.87ක්ව පැවතුණි.

Visits: 144