පිකාසෝගේ නිර්මාණ ඇමෙරිකාවේදී ඩො.මි. 100කට අලෙවි වෙයි, නිමල් පෙරේරාගේ එකතුවෙත් සිතුවම් 2ක්

ස්පාඤ්ඤයේ විසූ සුප්‍රසිද්ධ කලාකරුවෙකු වන පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද සිතුවම් 11ක් ඇතුළුව ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක් පසුගියදා ඇමෙරිකාවේ ලාස් වේගාස්හි වෙන්දේසියකදී එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට අධික මුදලකට අලෙවි වී ඇතැයි වාර්තා වෙයි.

සුප්‍රසිද්ධ Sothby’s වෙන්දේසි සමාගම විසින් ලාස් වේගාස්හි පිහිටි බෙලාගියෝ හෝටලයේදී මෙම වෙන්දේසිය පැවැත්වී තිබේ. පිකාසෝගේ 140 වැනි උපන්දිනය යෙදෙන අද (ඔක්තෝබර් 25දා) දිනයට සමගාමීව මෙම වෙන්දේසිය සංවිධානය කළ බව පැවසෙයි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 20.1ක් (20,134,000,000ක්) පමණ වටිනාකමකින් යුත් අලෙවියක් ලෙස සටහන්ව තිබේ. මෙහිදී ඉහළම මිලක් හිමි වූ පිකාසෝගේ නිර්මාණය වන්නේ 1938 වසරේදී ඔහු විසින් සිතුවම් කරන ලද  “Femme au beret rouge-orange” නම් සිතුවමයි. එහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 40.5ක මුදලක් ඊට හිමිව තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 8ක (8,040,000,000) මුදලකි.

මීට අමතරව “Homme et Enfant” සහ “Buste d’homme” යන නිර්මාණ දෙකද පිළිවෙලින් ඩොලර් මිලියන 24.4කට සහ මිලියන 9.5කට අලෙවි වී තිබේ. මීට අමතරව “Le Dejeuner sur l’herbe” ලෙස හැඳින්වුණු කුඩා පිගන් මැටි නිර්මාණයක් ඩොලර් මිලියන 2.1කට අලෙවි වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මෙරට සුප්‍රසිද්ධ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතාද, තමන්ගේ සිතුවම් එකතුව තුළත් පැබ්ලෝ පිකාසෝ විසින් නිර්මාණය කරන ලද සිතුවම් දෙකක් පවතින බව සඳහන් කර තිබේ.

Visits: 376