‘වෙළඳපොළේ විශාලතම කොරුගේටඩ් සමාගම් අතරින් එකක්’ ලෙස EXPack සංස්ථා ප්‍රකාශයට සංශෝධනයක්

EXPack සමාගම විසින් ලබන ඔක්තෝබර් 22 වැනිදා සිදු කිරිමට නියමිත මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා වන සංස්ථා ප්‍රකාශය වෙත සංශෝධනයක් සිදු කරන බව EXPack සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

ලංකා කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදකයන්ගේ සංගමය මගින් 2021 ඔක්තෝබර් 16 සහ 17 යන දාතම යටතේ ඉදිරිපත් කරන ලද ලිපි වලට අදාළව රැස්වී සාකච්ඡා කොට කොළඹ කොටස් හුවමාරුව වෙත ලිඛිතව සිදුකළ ලිඛිත කරුණූ දැක්වීමට අදාළව සමාගමේ සියලුම පාර්ශ්වකරුවන් වෙත දැනුම්දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලබන බව සමාගම පවසයි.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුල්ෆිකර් ගවුස් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කෙරී තිබේ.

ඒ අනුව ‘වෙළඳපොළේ විශාලතම කොරුගේටඩ් සමාගම් අතරින් එකක්’ ලෙස සලකනු ලැබීමට එකඟ වන බවත්, සංස්ථා ප්‍රකාශය තුළ එම සංශෝධනය සහ අදාළ වෙනත් සංශෝධනයන් සුදුසු පරිදි සිදුකරන බවත් එම සමාගම දන්වා සිටින බව අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු අවධාරණය කිරීමට කැමැත්තක් දක්වන බව පවසමින් EXPack සමාගම නිකුත් කළ එම නිවේදනය පහත පරිදිය.

1. අප ශ්‍රී ලංකාවේ කොරුගේටඩ් ඇසුරුම් කර්මාන්තයේ වෙළඳපොළ ප්‍රමුඛයන් බව උපකල්පනය කිරීමට අපට සාධාරණ කරුණු ඇත. මෙම වෙළඳපොළ ප්‍රමුඛත්වය තක්සේරු කිරීම, මේ සම්බන්ධ සවිස්තර අභ්‍යන්තර වාර්තාවේ දක්වා ඇති විධික්‍රම අනුව සිදුකරන ලද අතර, ඒ සඳහා පහත සඳහන් දත්ත භාවිතා කරන ලදි.

(i) විශාලතම කොරුගේටඩ් නිෂ්පාදන සමාගම් වල කාර්ය මණ්ඩලය සහ අභ්‍යන්තර පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීම මගින් හඳුනා ගන්නා ලද විකුණුම් ප්‍රමාණයන්

(ii) සෑම සමාගමකම මාසික නිෂ්පාදනය වෙන වෙනම හඳුනා ගැනීම සඳහා, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය වෙතින් ලබාගන්නා ලද, ප්‍රධාන කොරුගේටඩ් සමාගම් වල මාසික අපද්‍රව්‍ය බැහැර කිරීම් සම්බන්ධ දත්ත

(iii) අප නිෂ්පාදනය සඳහා යොදාගන්නා කඩදාසි ප්‍රමාණයන්ට සාපේක්ෂව, විවිධ මූලාශ්‍ර මගින් හඳුනා ගන්නා ලද, තරගකාරී සමාගම් විසින් භාවිතා කරනු ලබන කඩදාසි ප්‍රමාණයන් පිළිබඳ දත්ත

(iv) ප්‍රධාන සමාගම් මගින් ප්‍රකාශයට පත්කරන ලද තොරතුරු

2. අපගේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය, ශක්තිමත් ලාභාංශ ප්‍රතිපත්තිය, කළමනාකරණ ක්‍රමවේදයන් සහ ආයතනික පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීම යනාදී සාධක, අපගේ ප්‍රථම පොදු කොටස් නිකුතුව සම්බන්ධයෙන් බලපාන මූලික සාධක වන අතර, එම සාධක Ex-pack Corrugated Cartons සමාගමේ මෙම ප්‍රථම පොදු කොටස් නිකුතුවේ වඩාත්ම වැදගත් අංගයන්ද වේ.  වෙළඳපොළ ප්‍රමුඛත්වය සහ දළ වෙළඳපොළ ප්‍රතිශතය සම්බන්ධ කාරණා මගින් වෙළඳපොළ තුළ අපගේ තත්ත්වය හා ව්‍යාප්තිය දැක්වීම පමණක් සිදුවන අතර, එය අපගේ කොටස් නිකුතුව සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් කිසිදු ආකාරයකින් ඇති නොකරයි.

3. අපගේ මුල් තක්සේරුව සහ එම තක්සේරුව සඳහා පදනම් වූ කරුණු වෙනුවෙන් අප දිගින් දිගටම පෙනී සිටින නමුත්, වෙළඳපොළ ප්‍රමුඛත්වය සම්බන්ධයෙන් මේ වනවිට තහවුරු නොකරන ලද තරගකාරී කරුණු දැක්වීමක් සිදුවී ඇති බව අපි පිළිගනිමු. කාලය සම්බන්ධ සීමාවන් මෙන්ම, අපගේ වර්තමාන හා අනාගත කොටස්කරුවන්ට සහ සමස්ත කර්මාන්තයේම පාර්ශවකරුවන්ට වැදගත් වන කරුණු සැලකිල්ලට ගත් විට, මෙය සැලකිය යුතු වැදගත්කමකින් යුත් සාධකයක් ලෙස අප නොදකින අතර, මේ අවස්ථාවේදී ‘වෙළඳපොළේ විශාලතම කොරුගේටඩ් සමාගම් අතරින් එකක්’ ලෙස සලකනු ලැබීමට එකඟ වන බවත්, සංස්ථා ප්‍රකාශය තුළ එම සංශෝධනය සහ අදාළ වෙනත් සංශෝධනයන් සුදුසු පරිදි සිදුකරන බවත් මෙයින් දන්වා සිටිමු.

එමෙන්ම අපගේ මූලික ව්‍යාපාර කටයුතු, අතීත හා අනාගත මූල්‍ය තත්ත්වයන්, තක්සේරුකරණයන්, ප්‍රථම පොදු කොටස් නිකුතුවට අදාළ මිලගණන්, සහ එම කොටස් නිකුතුවේ ආරම්භය (2021 ඔක්තෝබර් 22) යනාදී කරුණු සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් සිදු නොවන බවත් අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මෙයට විශ්වාසී,
සුල්ෆිකර් ගවුස්
කළමනාකාර අධ්‍යක්ෂ
2021/10/18

Visits: 485