IMF මෙම වසර තුළ ආසියාව සඳහා වන ආර්ථික වර්ධන පුරෝකතනය පහත හෙළයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් 2021 වසර සඳහා වන ආසියානු ආර්ථික වර්ධන පුරෝකතනය පහත හෙළීමට තීරණය කර ඇතැයි පවසයි. ආසියානු කලාපය සඳහා වන වාර්තාවක් ඉදිරිපත් කරමින් එම අරමුදල මේ පිළිබඳව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම කලාපය තුළ අලුතින් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 ආසාදිත තත්ත්වය මේ සඳහා මූලිකවම හේතුව වී ඇතැයිද එම අරමුදල මෙහිදී අනතුරු අඟවා සිටියි. එහිදී සැපයුම් දාමයට එල්ලවන බාධා සහ උද්ධමන පීඩා මෙම කාරණාව සඳහා දායක වී තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී IMF මගින් ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය ලෙස පුරෝකතනය කළ 7.8෴ක වර්ධන වේගය මෙම වාර්තාවේදී 6.5෴ක් දක්වා පහත හෙළා තිබේ. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා ඇතිවූ තත්ත්වය ආසියානු කලාපයේ රටවල පාරිභෝජනයන් වෙත මෙන්ම නිෂ්පාදන වෙත බලපෑම් එල්ල කිරිම ඊට බලපා තිබේ.

මේ අතර IMF මගින් 2022 වසර සඳහා වන ආසියානු ආර්ථික වර්ධනය අප්‍රේල් මාසයේදී සිදු කළ 5.3෴ සිට 5.7෴ක් දක්වා 0.4෴කින් ඉහළ නංවා තිබේ. එහිදී මූලිකවම එන්නත්කරණයේ සිදුවන සාර්ථකත්වය හරහා මෙම තත්ත්වය උදාවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

“කෙසේ වෙතත් ආසියා සහ පැසිපික් කලාපය තවදුරටත් ලෝකයේ වඩාත් වේගවත් ආර්ථික වර්ධනයක් සහිත කලාපය ලෙස පවතීවි. එහිදී ආසියාවේ දියුණු ආර්ථිකයන් සහ නැගී එන වෙළෙඳ පොළ සහ දියුණුවෙමින් පවතින ආර්ථිකයන් අතර අපසාරණය තවදුරටත් ගැඹුරු වනු ඇත.” යනුවෙන්ද මෙම වාර්තාව මගින් සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධානවම වසංගතය, සැපයුම් දාම අඩාලවීම මෙන්ම එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්ති යළිත් සාමාන්‍යකරණයට ලක්වීම යනාදී කරුණු මෙම ආර්ථික වර්ධන වේගය පහළ හෙළිම සඳහා වන අවදානමට දායකත්වය දෙනු ඇතැයි මෙහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Visits: 183