ආයෝජකයන් ලාභ ඉපැයීමෙන් දර්ශක අගයන් පහළ බසී, පිරිවැටුමත් පහළට

අද (ඔක්තෝබර් 11) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කැපී පෙනෙන ලෙස පසුබැසීමකට ලක් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම බැංකු ඇතුළුව අනෙකුත් විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළින් ලාභ ලැබීමට ආයෝජකයන් යොමුවීම ඊට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් දිනයේ දෙවැනි අර්ධයේදී වෙළෙඳ පොළ යම් තරමකට ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමේ දිනයේ පිරිවැටුමෙන් වැඩි කොටසක් අවසන් පැයේදී වාර්තා වීමත් කැපී පෙනෙයි.

මේ අතර ඇතැම් භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ යාමත් සමගින්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සමාගම්හි කොටස් අගයන්ද ඉහළ යාම සිදුවිය. එසේම ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ගණන් ඉහළ යාමත් සමගින්ම මෙරට ඉන්ධන මිලද ඉහළ යාමේ අවස්ථාවක් පැවතීමත් මෙම වටිනාකම් ඉහළ යාමට  හේතු විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,628.55ත් ඒකක 9,705.26ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,649.26ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 08) දිනයට සාපේක්ෂව ඒකක 29.63ක් එනම් -0.31%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, එන්ඩීබීබැංකුව සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 5.2%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 82ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+9.14), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+3.58), ලාෆ්ස් ගෑස් පීඑල්සී LGL (+2.1), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+1.99), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.84), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-10.97), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-7.4), කොමර්ෂල් බැංකුව COMB (-7.32), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.19), හේලීස් පීඑල්සී HAYL (-3.79යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,570.08ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 08) ‍ට සාපේක්ෂව ඒකක 43.06ක එනම් -1.19%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.58ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 08) වාර්තා කළ රුපියල් බිලියන 3.5 ට  සාපේක්ෂව 15% ක පහළ වැටීමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.31ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 45.24%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 40.75ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 149.03ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 108.28කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.26ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ත්‍රී ඒකර් ෆාමර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.5 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 65.29ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 514ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බලශක්ති අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 420ක සහ රුපියල් මිලියන 381ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 282