ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනෙකුට

නොබෙල් ත්‍යාග කමිටුව විසින් මේ වසරේදී ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනෙකු වෙත ලබාදීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වසරේ ත්‍යාගයෙන් අර්ධයක් කැනඩා ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඩේවිඩ් කාර්ඩ් වෙතත්, ඉතිරි අර්ධය සම සමව ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකු වන මහාචාර්ය ජොෂුවා ඩී. ඇන්ග්‍රිස්ට් සහ මහාචාර්ය ගුයිදෝ ඩබ්ලිව්. ඉම්බෙන්ස් වෙතත් ලබා දෙන බව ප්‍රකාශ කෙරී ඇත.

ස්වීඩනයේ ස්ටොක්හෝමි පිහිටි රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමියේදී මේ පිළිබඳව අනාවරණය සිදු කෙරිණි. මෙම ත්‍යාගය ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණය වෙනුවෙන් ආර්ථික විද්‍යාව උදෙසා ලබා දෙන Sveriges Riksbank Prize ලෙසින්ද හැඳින්වෙයි.

1956 වසරේදී කැනඩාවේ ගුඑල්ප්හිදී උපත ලබා ඇති කාර්ඩ්, එක්සත් ජනපදයේ බර්කලි හි කැලිෆෝනියාවිශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. 1960 වසරේදී කොලොම්බස් හිදී උපත ලබා ඇති ඇන්ග්‍රිස්ට්, එක්සත්ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ආර්ථිකවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම 1963 වසරේදී නෙදර්ලන්තයේ එයින්ඩ්හොවෙන්හිදී උපත ලබා ඇති ඉම්බෙන්ස්, එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම ව්‍යවහාරික ආර්ථිකමිතිකය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි.

මේ අතරින් ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් කාර්ඩ් වෙත ත්‍යාගය පිරිනැමීමට හේතුවී ඇත්තේ, %කම්කරු ආර්ථිකය වෙනුවෙන් ඔහු ලබා දුන් ආනුභූතික දායකත්වය^ වෙනුවෙන් බව කමිටුව සඳහන් කරයි. එසේම ඇන්ග්‍රිස්ට් සහ ගුයිඩෝ %හේතු සම්බන්ධතාව පිළිබඳව විශ්ලේෂණය සඳහා ලබාදුන් ක්‍රමවත් දායකත්වය^ වෙනුවෙන් මෙම පිළිගැනීමට ලක් කරන බවත් ප්‍රකාශ කෙරී තිබේ.

“මේ වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභීන් අපහට කම්කරු වෙළෙඳ පොළ පිළිබඳව නව මානයන් අප වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ස්වාභාවික අධ්‍යයනයන් හරහා ඇති වන සිද්ධීන් සහ බලපෑම් හරහා හිමි වන නිගමනයන් පිළිබඳව ඔවුන් පෙන්නුම් කර තිබෙනවා.” යනුවෙන් රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය සඳහන් කරයි.

ඒ අනුව මෙම ස්වාභාවික අධ්‍යයනයන් යොදා ගනිමින් කාර්ඩ් විසින් කම්කරු වෙළෙඳ පොළ මගින් අවම වැටුප, සංක්‍රමණය සහ අධ්‍යාපනය වෙත සිදුව ඇති බලපෑම පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. 1990 දශකයේ මුලදී ඔහු සිදුකරන ලද මෙම අධ්‍යයනය ගතානුගතික දැනුම වෙත අභියෝගයක් එල්ල කරමින්, නව විශ්ලේෂනාත්මක සහ අමතර දැක්මක් වෙත යොමු කිරීමක් සිදු විය.

මෙවර ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් සාම ත්‍යාගය යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.14ක මුදලක් පිරිනමා ඇති අතර, ඉන් අර්ධයක් මහාචාර්ය කාර්ඩ් වෙතත්, ඉතිරි අර්ධය සමසමව ඇන්ග්‍රිස්ට් සහ ඉම්බෙන්ස් අතර බෙදීයනු ඇතැයිද සඳහන් වෙයි.

Visits: 415