මහ බැංකුවෙහි මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය ඔක්. 14දා

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලබන තීරණ දැනුම් දීම සඳහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 2021 අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම ලබන ඔක්තෝබර් 14 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරුවේදී සිදු කරන බව මහ බැංකුව දැනුම් දී සිටියි.

අවසන් වරට පසුගිය අගෝස්තු 19 වැනිදා  සිදු කෙරුණු 2021 අංක 06 දරන මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේ සිට පදනම් ඒකක 50කින් ඉහළ නැංවීමට මහ බැංකුව එහිදී තීරණය කෙරිණි.

මේ සමගම මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 5.0%ක් සහ 6.0%ක් බවට පත් කරමින් පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබේ.

වසංගත තත්ත්වය හේතුවෙන් ආසන්න මාස කිහිපයේදීම අනුගමනය කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය එම අවස්ථාවේදී දැඩි කිරීම විශේෂත්වයක් විය.

ගෙවුණු කාලසීමාවේදී මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 4.5%ක් සහ 5.5%ක් ලෙස පවත්වාගෙන යාම සිදු විය.

මේ අතර, අවසන් මුදල් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය අනුව බලපත්‍ර ලාභී වාණිජබැංකු සඳහා සෑම රුපියල් තැන්පතුවක් සඳහා වන ව්‍යවස්ථාපිත තැන්පතු අනුපාතිකය 4%ක් දක්වා 2%කින් ඉහළ නැංවීමටත් පියවර ගැනුණි. මෙම තීරණය 2021 සැප්තැම්බර් 01 වැනිදා සිට බලාත්මක කිරිමටත් කටයුතු යොදා තිබේ.

මෙම මුදල් ප්‍රතිපත්ති විවරණය නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දෙවැනි ධුරකාලය යටතේ ඉදිරිපත් කරන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ලෙසින්ද සැලකෙයි.

Visits: 210