ජනමාධ්‍යවේදීන් සඳහා ‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ ලෙස නව ආයතනයක් පිහිටුවීමට යයි

ජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන අවස්ථා සලසා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස “ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය” නමින් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව රජය පවසයි.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය කෙරිණි. ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව තිබේ.

මෙය ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස පවත්වාගෙන යාම අරමුණ වී තිබේ.

“ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන දේශීය හා අන්තර්ජාතික ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුව ජනමාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය හා උසස් ප්‍රමිතින් රැකගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.” රජය මෙහිදී සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම, පාසල් පද්ධතිය තුළ ජනමාධ්‍ය විෂය හදාරන සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින නමුත්, ඔවුන් සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රමාණවත් අධ්‍යාපන ආයතන සංඛ්‍යාවක් මෙතෙක් ස්ථාපිත වී නොමැති බව රජය පවසයි.

එසේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මඟින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදෙන බව ද නිරීක්ෂණය වී ඇතැයිද මෙහිදී අනාවරණය කර තිබේ.

එබැවින්, දැනටමත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය කළමනාකරුවන්ට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වීමට අපේක්ෂිත පාසල් සිසුන්ට ජනසන්නිවේදන විෂයය අධ්‍යයනය කිරීමට, අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ධාරිතා වර්ධනය කර ගනිමින් වෘත්තීයමය භාවය වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සැලසීමත්, සදාචාරාත්මක ස්වයං පාලනයක් සහිත මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය මාධ්‍යවේදීන් බිහි කිරීමත් අරමුණු කරගෙන මෙලෙස ‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ පිහිටුවීමට පියවර ගන්නා බවද රජය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 89