Facebook Inc. වටිනාකම් කඩා වැටීමෙන් සකර්බර්ග්ට පැය කිහිපයකදී ඩො.බි. 7ක් අහිමි වෙලා

සඳුදා (04දා) දිනයේදී Facebook Inc. සමාගමෙහි කොටස් වටිනාකම්හි සිදු වුණු කඩා වැටීමත් සමගින්ම එහි හිමිකරු වන මාර්ක් සකර්බර්ග්ගේ වත්කම පැය කිහිපයක් ඇතුළතදී එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට ආසන්න අගයකින් පහත වැටී ඇතැයි වාර්තාවෙයි.

ඒ අනුව ඊයේ දිනයේදී ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 12.1.6ක් දක්වා පහත වැටුණු අතර, ඔහු ලොව ධනවතුන්ගේ ලැයිස්තුවෙහි බිල් ගේට්ස්ද වඩා පහළින් අංක 05 ස්ථානයටද පත්විය.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව සඳුදා දිනයේදී පමණක් Facebook Inc. සමාගමේ කොටස් වටිනාකම් 4.9%කින් පහත වැටී ඇත. එසේම පසුගිය සැප්තැම්බර් මාසය මැද සිට එම වටිනාකම 15%කින් පහත වැටී තිබේ.

මෙලෙස Facebook Inc. සමාගමෙහි කොටස් අගය දරුණු ලෙස කඩා වැටීම සඳහා මූලිකම හේතුව වූයේ එම සමාගම යටතේ ඇති Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය අඩවි හරහා සමාජයට සිදුවන අහිතකර බලපෑම් සම්බන්යෙන් සිදුකළ අනාවරණයයි.

පසුගිය සැප්තැම්බර් 13 වැනිදා එක්සත් ජනපදයේ පළවන වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මගින් පළමුවරට මෙම අනාවරණ සිදු කෙරිණි. එහිදී නමක් හෙළිදරව් නොකළ අනාවරණකරුවෙකු විසින් ෆේස්බුක් සමාගමෙහි අභ්‍යන්තර ලිපිගොනු රැසක් පාදක කරගනිමින් එම සමාගමේ නිෂ්පාදන තුළ පවතින බොහෝ දෝෂ පිළිබඳව කරුණු සඳහන් කෙරිණි.

විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය ලොව තරුණ වයසේ පසුවන ගැහැණු දරුවන්ගේ මානසික සෞඛ්‍ය වෙත හානිදායක වන බවත්, පසුගිය ජනවාරි 06 වැනිදා එක්සත් ජනපදයේ කැපිටල් හිල් හිදී සිදු වූ උද්ඝෝෂණය පිළිබඳ වැරදි තොරතුරු හුවමාරුවීමටද ෆේස්බුක් හේතු වූ බවත් යනාදී ලෙස එහිදී අනාවරණය විය.

මේ අතර එම අනාවරණකරු ලෙස Frances Haugen නමැති 37 හැවිරිදි තරුණියක් පළමුවරට සිය අනන්‍යතාව හෙළිදරව් කරමින් පසුගිය ඉරිදා දිනයේදී මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියාය. ඒ අනුව ෆේස්බුක් සමාගමේ නිෂ්පාදන සතුව පවතින මෙම දෝෂ සම්බන්ධයෙන් එම සමාගම දැනුවත්ව සිටි බවත් ඇය එහිදී සඳහන් කර තිබුණි.

මෙම කරුණු සියල්ලමත් සමගින්ම සඳුදා දිනය වනවිට Facebook Inc. සමාගමේ වටිනාකම් මෙලෙස දරුණු ලෙස පහත වැටීමක් සිදුව තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ලොව පුරාම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වෙබ් අඩවි හදිසියේම බිඳ වැටීමක්ද වාර්තා විය.

Visits: 335