CLC වටිනාකම් ඉහළ යාමෙන් දර්ශක අගයන් ඉහළට

අද (ඔක්තෝබර් 04) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදීම යම් පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම ආයෝජකයන් බොහෝ පිරිසක් ලාභ ඉපැයීමට යොමුවීම ඊට හේතු විය.

කෙසේ වෙතත් ඉහළ ප්‍රාග්ධනීකරණයක් සහිත කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් වටිනාකම් ඒකක 70කට ආසන්න අගයකින් ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මේ අතර දිනයේ අගභාගයේදී ආයෝජකයන් තුළ මිලදී ගැනීමේ උනන්දුව ඉහළ ගිය බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම ආයෝජකයන්ගේ අවධානය LOLCසමූහයේ සමාගම් සහ EXPO වෙතින් බැහැරව වෙනත් සමාගම් වෙත යොමුවීමක්ද දැකගතහැකි වූ බව එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,393.03ත් ඒකක 9,553.26ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,542.33ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 01) දිනයට සාපේක්ෂව ඒකක 100.03ක් එනම් +1.06%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව රෝයල් සෙරමික්ස් ලංකා තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 2.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 109ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 79ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+67.00), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+13), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (+4.5), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+3.5), වැලිබල් වන් පීඑල්සී VONE (+3.1), එක්ස්පෝ ලංකාහෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-13.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-6.9), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-1.5), ඕවර්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී OSEA (-1.4), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.2යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,540.24ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 01) ‍ට සාපේක්ෂව ඒකක 0.69ක එනම් +0.02%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.62ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 01) වාර්තා කළ රුපියල් බිලියන 5.28ට සාපේක්ෂව 31.4% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.25ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 43.63%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 8.66ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 60.88ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 52.22කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.91ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්බී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.16 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 29.05ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 865ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 580ක සහ රුපියල් මිලියන 571ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 239